Saturday 18 July 2015

ලංකාවේ උසම දුම්රියපොළ අතර පාගමනින් සංචාරයක -01 කොටස

කොළඹ සිට අඹේවෙලට... අඹේවෙල සිට පාගමනින් පට්ටිපොලට


සති ගණනක් පුරා කොළඹ වැසියන්ගේ ගතට වෙහෙස ගෙන දුන් දැඩි අව් රශ්මිය පහවෙලා ගිහින් වැහි වැටෙන්න පටන් අරන්..මාසයක විතර ඉඳලා කරපු සැලසුම වතුරෙ ගහගෙන යන්න නොදී මොර සූරන වැස්සට යටින්  ගමනට නියමිත හැම දෙනාම මරදාන දුම්රිය පොළට ආවේ රාත්‍රී තැපැල් දුම්රිය අල්ලගන්න. සිකුරාදා දවස ටිකක් විතර සෙනඟ වැඩි දවසක් වුණත් දුම්රිය නවත්තන මොහොත වන විට ගොඩක් දෙනා දුම්රියට ගොඩ වෙන්න තෙරපුණේ නැත්තේ නොනවතින වැස්ස බොහෝ දෙනාගේ කටයුතු අඩාල කරලා තිබ්බ නිසා වෙන්න ඇති. විනාඩි දහයක පහළොවක පමාවෙන් පස්සේ  කිටි කිටියේ තදවෙන්න තරමට දුම්රියට නැඟුණු පිරිසත් සමඟ බදුල්ල ට යන දුම්රියේ ඉදිරියට ඇදුණු අපි යළි යළි ඇහැරෙන කුක්කුට නිද්‍රාවන් කිහිපයක සුවයකින් පස්සේ අළුයම පහ විතර වෙද්දි අඹේවෙලට ළඟාවුණා..... දුම්රිය ස්ථානාධිපතිතුමාගේ අවසරයෙන් විවේක කාමරයට වෙලා බිමට එළිය වැටෙනකම් ගතකරපු අපි උදේ හයට විතර දවසේ වැඩ ආරම්භ කළා.                 
                                          
ලංකාවේ දුම්රිය ධාවනය වන සීමාවේ ඉහළින්ම පිහිටි දුම්රිය ස්ථාන අතර දුම්රිය පාර දිගේ ගවේශන චාරිකාවක් යාම තමයි අපේ අරමුණ වුණේ..... ඒ අනුව අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට පට්ටිපොළ ඔහිය පහුකරගෙන ඉදල්ගස්හින්නට  දුම්රිය පාර දිගේ පයින්ම යාම තමයි අපේ බලාපොරොත්තුව..... මේ දුරෙන් වැඩි කොටසක් වැටී තිබෙන්නේ  හෝටන්තැන්න ජාතික වනෝද්‍යාන සිමාව දිගේ..... දිවියා සහ ගෝනා කියන දුර්ලභ සිව්පා සතුන්ට අමතරව නෙක නෙක සමනළුන්, පක්ෂීන් ගැවසෙන සුන්දර පරිසර පද්ධතියක යන මේ ගමනෙදි මෙරට තිබෙන සමස්ථ දුම්රිය බිංගෙවල් සංඛ්‍යාවෙන් 1/3ක්ම පසුකරන්නටත් නියමිතයි.... 

උදෑසනින් බදුල්ලේ සිට කොළඹ බලා යන දුම්රියෙන් අප සමඟ එක්වන්නට තවත් සාමාජිකයින් දෙදෙනෙකු එනතුරු මීදුම් වළාවන් පළවා හරින ළාහිරු එළියේ ඔබ මොබ ඇවිදිමින් ගත කරන අපට දුම්රිය මාර්ගයේ වැවී 
තිබෙන  අපූරු පැළැටියක් දක්නට ලැබුණා.... සාමාන්‍ය ස්ට්‍රෝෙබරි ගෙඩියකට පෙනුමෙන් සමාන - එහෙත් ප්‍රමාණයෙන් කුඩා මේ ගෙඩි ගොටුකොළ සේ වැල් අදෙන පැළෑටියක තැනින් තැන ඵලගෙන තිබුණා.... 

“මේ ස්ට්‍රොබෙරි ද?“ කෙනෙක් ඇහුවා....



“නෑ මේ වල් ස්ට්‍රොබෙරි - මේවා මිනිස්සු කන්නේ නෑ - ඒ වුණාට සත්තු - කුරුල්ලෝ නම් කනවා“ පිළිවදන් දුන්නේ අපේ කණ්ඩායමේ චමත් 

Fragaria virginiana කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වල් ස්ට්‍රොබරි කඳුකරයේ බොහොම සුලබ පැලෑටියක් බව දුම්රිය පොළ අසළ තේ කඩයේ ජයසිංහ මුදලාලි පසුව අප හා පැවසුවා.....  අතීතයේ
නම් මේවා බෙහෙතට යොදාගත් බව සඳහන් වුණත් වල් දෙල්- වල් අල - වල් පැල සේම වල් ස්ට්‍රොබෙරිත් දැන් භාවිතයෙන් අයින් වෙලා.  

දුම්රිය ස්ථානය අසළ වැවී තිබූ වල් ස්ට්‍රොබෙරි ගොමුව පසුකර ප්‍රධාන පාර දෙසට  ගිය අපි දැනට අළුත් වැඩියා කර ඇති පසුගිය 2014 දෙසැම්බර් මස නාය ගිය දුම්රිය මාර්ග කොටස බැලීමටද අමතක කළේ නෑ....  අඩි 30ක් පමණ ගැඹූරට අඩි 50ක් පමණ දුරට සේදී ගිය මෙම ස්ථානය දැන් ගල් කුට්ටි පසෙකින් අතුරමින් පස් පුරවා ශක්තිමත්ව සකස් කරනවා..... උදේ හතට වගේ වුණත් වැඩකරන සේවකයින් එතැනට ඇවිත් වැඩ පටන් ගන්න සූදානම් වෙලා තිබුනා... මෙයාලා දෙපාර්තමේන්තු සේවකයින් නොවේ... කොන්ත්‍රාත් සේවකයින්... 



“මෙහෙම වුණේ ඇයි ?“ 

නුවරඑළියට යන උදේ බස් එක එනකම් අඹේවෙල කඩමණ්ඩියේ හිටපු වයසක මාමා කෙනෙක්ගෙන් අපි එහෙම ඇහුවා.... මාමා නම් දෙමළ. ඒත් කැඩිච්ච සිංහලෙන් මේ ටික කිව්වා....

“පුතා සුද්දා කඳු කපල කෝච්චිය උඩහට හැදුවට මෙහෙට වහින විදිය, කන්දෙන් පහළට වතුර ගලන විදිය ගැන හොඳ අවධානයෙන් තමා වැඩේ කළේ.... ඒ වෙනුවෙන් කාණු හැදුවා... වැටි බැන්දා....බෝක්කු බැන්දා...  ඒත් අපේ අය වැඩේ බාරගත්තාට පස්සේ පාර ගැන විතරයි බැලුවේ..... අර අතුරු ඉදිකිරීම් ගැන බැලුවේ නෑ.... ඒ නිසා තමයි මේ දේවල් වුණේ......“

මාමාට දෙන්න අපි ගාව පිළිතුරක් නොතිබුණත් පැහුණු කෙසින් යුතු ඒ මිනිසාගේ දැක හුරුවෙන්, දැන හුරුවෙන්, කළ හුරුවෙන් පැවැසූ දේ බොරු යැයි බැහැර කරන්න හිතට ඉස්පාසුවක් ලැබුණෙත් නෑ...

දුම්රිය හරස් මාර්ගයෙන් පහළට ගමන් කරන හෝටන් තැන්න මාර්ගයේ ඉදිරියට ගිය අපි ලොරි තට්ටුවක හදපු පුංචි හෝටලයකට ගොඩවෙලා උණු උණු පරිප්පු හොදි සමඟ පාන් අපේ පාතරසය කර ගත්තේ දිගු පා ගමනකට අවශ්‍ය ශක්තිය හා ජවය ලබාගන්න. (ඇත්තටම ඒ හෝටලේ පාන් හැර කන්න වෙන යමක් කෑමට තිබුණෙ නෑ.) අපි පාන් කන අතර තුරේ බදුල්ලේ සිට කොළඹ යන උදෑසන උඩරට මැණිකේ දුම්රියත් අඹේවෙලට ළඟා වුණා.... හපුතලේ සිට අපේ වැඩසටහනට එක්වන සොයුරන් දෙදෙනාත් ඒ දුම්රියේ ඇවිත් අපිත් සමඟම උදෑසන ආහාරය ගන්න එකතු වුණා.... කෑමෙන් පස්සේ හොඳ ඝණකමින් හැදුනු කෝපි
කෝප්පයකින්  ඇඟ උණුසුම් කර ගත් අපි අපේ වැඩසටහන ආරම්භ කළා.... 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළාපය භාර දිස්ත්‍රික් ඉංජිනේරුවරයාව දැනුවත් කර තිබුණු අපි පට්ටිපොළ හා ඔහිය කළාප භාර දුම්රිය ස්ථීර මාර්ග පරීක්ෂවරුන්ගේ අවසරය මෙම දුම්රිය පාගමන වෙනුවෙන් ලබාගත්තා..ලංකාව තුළ දුම්රිය පාර දිගේ පාගමනින් යාම නීතිවිරෝධි වැඩක් වුණත්..... ලෝකයේ බොහෝ සුන්දර දුම්රිය මාර්ග ප්‍රෙද්ශ වල පාගමනින් සංචාරයේ යෙදෙන දුම්රිය ලෝලීන් නම් සුලබයි. අපේ රටේ දුම්රිය මාර්ග වලත් පාගමන් යන දෙස් විදෙස් දුම්රිය ලෝලීන් ගණනාවක් ඉන්නවා....නමුත් අපේ වැඩසටහන නම් දුම්රිය මාර්ගයේ පාගමනින් යන අතරම මේ මාර්ගයේ සහ දුම්රිය සේවයේ සුවිශේෂතා අධ්‍යයනය කිරීමත් ඇතුළත් වුණා.... ඒ වෙනුවෙන් රටේ විවිධ ප්‍රෙද්ශවලින් එකතු වුණු තරුණ ජවයෙන් පිරි සාමාජිකයින් එකොළොස් දෙනෙකු අපිත් සමඟ සිටියා..... 

අඹේවෙල දුම්රිය ස්ථානය කොළඹ ඉඳන් කිලෝඹීටර් 221.5ක් දුරින් තමා පිහිටා තියෙන්නේ..... මේ මාර්ගයේ දෛනිකව ගමන් කරන සියළු දුම්රියයන් නවත්වන ප්‍රධාන දුම්රිය පොළක් වෙන අඹේවෙල දුම්රිය පොළ අතුරු මාර්ග කිහිපයකින්ද සමන්විත, පහසුකම් සහිත දුම්රියපොළක්.... අතහැර දමන ලද බඩු ගබඩා ගොඩනැඟිල්ලක්ද දුම්රිය පොළ හා සම්බන්ධයි.... අඹේවෙල දුම්රිය පොළ අසළම මිල්කෝ කිරි සැකසුම් කම්හල සහ තවත් කිරි ගොවිපොළවල් දෙකක ට පිවිසුම් මාර්ග සහිතයි. ලංකාවේ දුම්රිය පොළ අතරින් දෙවැනියට උසින් පිහිටි දුම්රිය පොළ තමයි අඹේවෙල... උස මුහුදු මට්ටමේ සිට මීටර 1827.3ක්.  නුවරඑළියේ මීපිළිමාන හරහා හෝටන් තැන්නට යන මාර්ගයේ එල්ජීන් දිය ඇල්ලටත් ආසන්නයේ තමා මේ දුම්රිය පොළ පිහිටා තිබෙන්නේ.... .

අඹේවෙල ඉඳලා පා ගමනින් යන අපිට හමුවන මීළඟ දුම්රිය නැවැතුම් පොළ පට්ටිපොළ... ඒ තවත් කිලෝමීටර 3.5කින්. මේ මඟ දෙපස තියෙන්නේ සරුසාර එළවළු වතු.... ඒ එළවළු වතු වලට ඔබ්බෙන් රතුම රතු  මහරත්මල් පුරෝගත්තු ගස් යායක මායිමෙන් හෝටන්තැන්න ජාතික උද්‍යානයේ සිමාව සටහන් වෙලා තිබුණා... නුවරඑළියේ හෝ කොළඹ වෙසෙන පුද්ගලයින් වෙත අයිතිය තිබූ මෙම එළවළු වතු වල සේවය කරන සේවකයින් පවා පැමිණ තිබෙන්නේ දුර බැහැරින්..... අඹේවෙල කඩමණ්ඩිය හැරුණු විට දුම්රිය මඟ ආසන්නයේ වෙනත් ජනාවාස නොතිබුණු තරම්.... ඒ නිසා දෛනිකව ගොවිබිම් වල වැඩට සේවකයින් පැමිණ තිබුණේ  බැහැරින්.... ඒත් ඒහැම ගොවිබිමකම සේවක වාඩියක් නොවැරදීම ඉදිවී තිබුණා.... අක්කරයක දෙකක මේ ගොවිබිම් බොහොම පිළිවෙලට ක්‍රමානුකූලව සකසලා තිබුණා....කොළඹ රටේ රස කරමින් කන කැරට්, බීට්,  ගෝවා, රාබු වෙනුවෙන් සීතල අඹේවෙල දී දහඩිය හෙළන ගොවීන්, ගෙවිලියන් වගේම,  එළවළු කඩවල, සුපර් මාකර්ට් වල පහතරට එළවළු වලට වඩා පෙනුමෙන් වැජඹෙන්න ඕන නිසාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රසායනික දියරවලින් නැහැවෙන කැරට්, බීට්, ගෝවා, රාබු ත් අපි දැක්කා....

දුම්රිය මාර්ගය දිගේ අඹේවෙල ඉඳන් පට්ටිපොලට යද්දි බිංගෙයක් , පාලමක් වගේ කිසිදු සුවිශේෂී ඉදිකිරීමක් හමුවන්නේ නෑ... හමුවෙන්නේ ගල් බැම්මෙන් බැඳපු පුංචි බෝක්කු කිහිපයක් විතරයි... ඒත් හෝටර්න්තැන්නේ සීමාව නිසා හොඳ ජෛව විවිධත්වයක් නම් මේ කොටසෙදි දකින්න පුළුවන්.... අපේ පිරිවර තව ටිකක් උදෑසනින් අඹේවෙලින් පිටවුණා නම් ඒ නිරීක්ෂන වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලැබෙන්න තිබුණා.... ඒත් එහෙමයි කියලා අපිට හමුවුණු පුංචි සත්තුන්ගෙත් වටිනාකමේ අඩුවක් තිබුණෙ නෑ.... Green garden lizard නමින් හඳුන්වන පළාකටුස්සාත් තවත් ගෙඹි විශේෂ කිහිපයකුත් ගොළුබෙලි විශේෂයකුත් අපේ නිරීක්ෂණ වලට නතු වුණා... ඒ ගැන විස්තර තවමත් සොයා බලා අවසන් නොමැති නිසා ඉදිරියේදී ඒ විස්තර ඉදිරිපත් කරන්නම්. 


ටිකක් දුර යන කොට  උඩු හුළඟත් එක්ක නාස් කුහර පුරෝගෙන එන යෝගට් සුවඳක් දැනුනා.... ඒ එක්කම දුම්රිය පාරේ දකුණු අත පැත්තෙන් සුදු පැහැති විශාල උස් ගොඩනැඟිල්ලක් ඇස් මානෙට මතුවුණා.... ඒ තමයි රටටම හයිලන්ඩ් කිරි නිෂ්පාදන සපයන මිල්කෝ කර්මාන්ත ශාලාව.... අතීතයේ හොඳ නිෂ්පාදනයක් කෙරුණත් වත්මනේ නම් තරඟකාරී නිෂ්පාදන රාශියක් සමඟ පොරබදිමින් කළින් කළට පත්වන රජයයන් වල ඇමැතිවරුන්ගේ තීරණ  මත අබල දුබලව ක්‍රියාත්මක වෙන මිල්කෝ ආයතනය නවීකරණය වෙමින් පවතින බවක් තමා පෙනුනේ..... කටට කෙළ උණන කිරි සුවඳට ඉව අල්ලමින් උස් වැටකින් දුම්රිය පාරට සිමාවුණු මිල්කෝ නිෂ්පාදනාගාරය පහුකරගෙන ආවා.... ආයෙමත් අපි ඉදිරිපිට මහරත්මල් යායක්..... 




Rhododendron arboreum යන විදු නමින් හඳුන්වන මහරත්මල් පිපෙන්නේ අවුරුද්දේ එක කාළයකට විතරයි.... ඒ මැයි ජූනි මාස වල..... මහරත්මලේ උප විශේෂ කිහිපයකුත් තියෙනවා.... පොදුවේ මහරත්මල ලංකාවට ආවේණිකයි. මධ්‍යම පළාත් පුෂ්ඵය වන මහ රත්මල මුහුදු මට්ටමේ සිට මීටර් 1700 - 2300 ට වඩා උසින් පිහිටි හෝර්ටන් තැන්න, ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, සඳතැන්න,  ආදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රදේශ වල හොඳින් වැඩෙනවා... නිතර ලැව් ගිනි වලට ලක්වෙන හෝර්ටන් තැන්නේ එම ගිනි වලට ඔරොත්තු දෙමින් නැවැත නැවැත වැවෙන මහරත්මල ශාකයේ පත‍්‍ර මිලිමීටර් 110 -50 ඝනකමින්  යුතු වන අතර පත‍්‍රවල යටිපැත්තේ දුඹුරු  පැහැ කෙඳි දකින්න පුලුවන්. 

මහරත්මල් ගොමුව පසුකරන විට තරමක් ළඳු සහිත ප්‍රෙද්ශයක්.... වේලාව උදේ දහය වෙද්දිත් ළා හිරු එළියට වියළි නොගිය පින්නෙන් පිරුණු මීවන පඳුරු යායක් දුම්රිය පාර අයිනෙම හැදිලා තිබුණා..... අපි ඉදිරියෙන් වූ වන  ගොමුවෙන් අපිට මීටර සියයක් විතර දුරින්  විශාල කළු ගුළියක් රේල් පාර හරහා ක්ෂණයෙන් මාරු වුණා.... වල් ඌරා, ගෝනා , දිවියා දෑසින් දකින්න හීන මවපු  අපේ හීනය සැබෑවෙලාද කියන ත්‍රාසය මිශ්‍ර බැල්මෙන් එක තැන  නැවැතුණු අපි තවත් තත්පර ගණනාවක් හිටිවනම හිටියා..... ටික වේලාවකින් වම් පස ගස් ගොමුවෙන් ඇසුණු “බුකුං බුකුං“ නාදය අපේ ත්‍රාසය මකා හීන් හිනාවක්ද, ලැජ්ජාවක්ද සිත් තුළ ජනිත කළා.....  

“කළු වඳුරා“ හඬ අවදි කළේ චමත්.... 

“මේකා ලංකාවට ආවේණිකයි“ ආයෙමත් චමත්..... 

“ඒත් පුදුමය ඒක නොවෙයි - හැට පැන්නත් බිම යන්නෙ නෑ කියන වඳුරා රේල් පාර හරහා ගියේ බිම දිගේනේ.....“ මම කිව්වා...

“ඇත්ත තමයි.... වෙලාවට ෆොටෝ එකක් ගන්න බැරි වුණානෙ... එහෙනම් ෆේස්බුක් එකේ දාලා ලයික් ලොරියක් බාගන්න තිබ්බා....“ ලොවිඳු මල්ලි ත් හඬ අවදි කළා. 

ලංකාවේ වෙසෙන කළු වඳුරා මෙරටට ආවේණීක වන අතර ලංකාව තුළ මෙම වඳුරන්ගේ උප විශේෂ පහක් හඳුනාගත හැක. එයින් අඹේවෙළදී අපට හමුවන්නේ මධ්‍යම කදුකරයේ මීටර් 1200-2000 දක්වා වූ කලාපය
තම වාසස්ථානය කර ගත් Trachypithecus vetulus monticola කඳුකර කළු වඳුරා (Bear monkey highland purple-faced langur) නම් උප විශේෂයයි. මෙම වඳුරන්ගේ සුවිශේෂත්වය නම් එකම විශේෂයේ වුවද තම උපවිශේෂයේ සතුන් ගෙන් බැහැරව අභිජනන ක්‍රියා වේ නොයෙදීමයි.... මෙරටට ආවේණික හැළි වඳුරා මෙම සීමා බිඳිමින් තම කළාපයෙන් බැහැර සතුන්  සමඟද අභිජනන කටයුත්තේ යෙදිම නිසා උප විශේෂ ලෙස වෙන්වීමක් දැකිය නොහැකි වී ඇත. රටේ ජනාකීර්ණ ප්‍රෙද්ශවල වෙසෙන වඳුරන්ට සාපේක්ෂව  මෙම වඳුරන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා ජීවිත තර්ජන නොමැති නමුදු  මේ උප විශේෂයද ජාත්‍යන්තර රතු දත්ත පොතේ සාමාජිකයෝ වෙති. 





අඹේවෙල ඉඳන් දුම්රිය මාර්ගය දිගේ යද්දි ඊළඟට අපිට හමුවුන සුවිශේෂී ස්ථානය තමයි, දේශිය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දොපාර්තමේන්තුව යටතේ පාලනය වන පට්ටිපොල ඔසු උයන. දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඔසු උයන් අතරින්  විශාලත්වයෙන් තෙවැනි තැන ගන්න මෙම ඔසු උයන අක්කර 25ක් විශාලයි... කළින් වෙන්කරගෙන නවාතැන්ගත හැකි සංචාරක බංගලාවකින්ද සමන්විත මෙහි හෙළ ඔසු සඳහා භාවිතාවන කඳුකර ශාක හා ජලජ ශාක ආදර්ශ වගාකර සංරක්ෂණය කර තිබෙනවා... අපේ අරමුණ ඔසු උයන නැරඹීම නොවුනු නිසා ඔසු උයන පසුකරමින් රේල් පාර දිගේ යන අපිට ඊළඟට දක්නට ලැබුණේ දිය පීල්ලක්... දේශීය විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය මේ දිය පිහිල්ලට කියන්නේ “කූල් ගටර්“ කියලා.... නැත්නම් පට්ටිපොල දිය පිහිල්ල කියලා....අපි එතැනින් එද්දි වේලාව උදේ 11ට විතර ඇති. එවෙළෙත් හෝටන් තැන්න බලා යන  සංචාරකයින් පිරිසක් දිය පිහිල්ල ළඟ නැවතිලා හිටියා.... 

මෙතෙක් දුරක් ජනාකීර්ණ නොවී හුදකළාව සර්ප ගමනෙන් ඇදුණු දුම්රිය මාර්ගය දැන් දැන් ආයෙම ජනාකීර්ණ වෙන්න පටන් අරන්.... ඒ කියන්නේ අපි පට්ටිපොළට ළඟා වෙන බවට ඉඟියක්... ඈතින් පට්ටිපොළ දුම්රිය හරස් මාර්ගයේ ඇතුල්වීමේ සංඥාව පේනවා.... අඹේවෙල ඉඳන් හෝටන් තැන්නට යන මාර්ගය පට්ටිපොල දුම්රිය පොලට මීටර් සියයක් පමණ මෙපිටින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරනවා.... එතැනදි අපිට හමු වෙන්නේ  පට්ටිපොල- අඹේවෙල කොටසේ පෙට්‍රොල්මන් වරයා..... දුම්රිය මාර්ගයේ ආරක්ෂාව භාරව ඉන්න ඔහු එයට වන ඕනෑම උපද්‍රවයක් වෙනුවෙන් වගකිව යුතුයි... ආගන්තුකයින් වන අපේ අනන්‍යතාවය විමසන ඔහු අපේ ගමන්  අරමුණු, අපේ ඇසුරුම් වල අඩුම කුඩුම ගැන විමසිම් කරනවා... ඔහුගේ රාජකාරියට සාවධානව ඉඩදෙන අපි අවසානයේ අවසර ලිපිත් ඔහුට දක්වා යළිත් ඉදිරියට ඇදෙන්න පටන්ගත්තා...



දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාර්ගය හමුවන තැන දෙපස අපූරු හැඩයේ ගොඩනැඟිලි කිහිපයක් දක්නට ලැබුණා...  එකක් පට්ටිපොළ උප තැපැල් කාර්යාලය.... අනෙක හින්දු කෝවිල.... දෙකේම ගෘහ නිර්මාණ සැළැස්ම එකක ට එකක් සමානයි. පැරණි ටකරන් තහඩු වහළ පල හතරකට ගහල ඒ තහඩු හුළඟේ යන එක වළක්වන්න කළුගල් - සිමෙන්ති ගල් තැන් තැන්වල තියලා තිබුණා....  ගොඩක් උස් නැති ගොඩනැඟිල්ල වටේටට ලෑලි හා ලී පටි  ගහල තිබුණා....  කෝවිල ඉදිරිපිට වීදුරු කුටියක්, පඬුරු බදින ත්‍රිශූලයක්, උස්  යකඩ බට වලින් සැකැසූ කුඩා ඝණඨාරයක්ද තිබුණා.පසෙකින් ළිඳක්ද තිබුණු මෙහි වැට සිල්පර හා ලීකොට සිටවා අදින ලද අක්‍රමවත් කටු කම්බි  පොටවල් කිහිපයකින් සමන්විත වුණා. සිංහල දමිළ සමාන බහුතරයකිනුත් මුස්ළිම් සුළුතරයකුත් සිටින මෙහි වූ කෝවිල තවමත් නගරයේ ආගමික ස්ථාන මෙන් අධිකාරීවාදය ඉස්මතු කරලා තිබුණේ නෑ... අපි මෙහිදී බෞද්ධ පන්සලක් හෝ ඉස්ලාම් පල්ලියක් දැක්කේත් නෑ... උප තැපැල් කාර්යාලයේ සුද්දාගේ කාලයේ සවිකළ නාමපුවරුවක් පවා තවමත් දකින්නට තිබුණා... එහි තැපැල් ස්ථානාධිපතිවරයා කාර්යාල ඉඩමේ  කැරට් වගාවක් නඩත්තු කරමින් සිටියා...නුවරඑළිය දෙසින් පැමිණෙන ලංගම බසය දුටු ඔහු කරමින් සිටි වැඩය නවත්වා ඉදිරියට දිවගියා.... දහවල් එකොළහ විතර වුණු ඒ මොහොතේ තමයි ඔහුට දවසේ තැපැල් මල්ල බසයෙන් ලැබුණේ.... 


රටේ නොයෙකුත් පැතිවල එක එක විදියේ ගෘහ කර්මාන්ත - ගෘහ ව්‍යාපාර තියෙනවා.... පට්ටිපොළ අවටත් අපූරු ගෘහ කර්මාන්තයක් දක්නට ලැබුණා... කර්මාන්තයක් කිව්වට මේක වගාවක්.... තමන්ගේ මිදුලේ විවිධ මල්  වැවීම තමයි මේ අයගේ අමතර ආදායම සපයන්නේ.... රෝස, කානේෂන්, ලිලී ආදී විවිධ මල් වර්ග තමන්ගේ ඉඩමේ වගා කරලා නඩත්තු කරලා අවසානයේ පිපෙන මල් එක්රැස් කර විකිණීම තමයි මේකේ ව්‍යාපාර  ස්වභාවය....ඒ විදියට නෙළන මල් එකතු කරන තැනක් පට්ටිපොළ කෝවිල ඉදිරිපිට දුම්රිය මාර්ගය ආසන්නයෙන් තිබුණා.... තව පැයකින් පමණ පට්ටිපොලෙන් කොළඹ යන්නට නියමිත අංක 1008 දුම්රියෙන් ගම්පහට සහ කොළඹට යැවීමට කඩිසරව මල්  තෝරමින් සිටි අඹු සැමි යුවලක් හා ඔවුන්ගේ පුතු අපගේ තොරතුරු විමසීම ඔවුන්ගේ කාර්යයට බාධාවක් කරගත්තේ නෑ.... දෛනිකව සිදුවන මෙම කාර්යය තමන්ට හොඳ ලාභයක්  ගෙන දෙන බව තමයි ඔවුන් කීවේ.... 

හරස් මාර්ගය පසු කළාම දුම්රිය ස්ථානය පෙනෙන නොපෙනෙන දුර.... අතුරු පාරකින් මතුවුනු ප්‍රෙද්ශවාසී තරුණියෝ දෙන්නෙක් දුම්රියපොළ දිහාට යන්න දුම්රිය පාරට ගොඩවුණේ ආගන්තුක අපිව නොදැක බොහොම සැහැල්ලුවකින් වෙනද පුරුදු විදියටම..... හැබැයි මේ දෙන්නා අපිව දැක්කා විතරයි පැත්තවත් නොබලා කඩිනම් ගමනෙන් දුම්රියපොළ පැත්තට ගියා.... 

“අන්න පොඩි මැණිකේ අප් එකයි උඩරට මැණිකේ අප් එකයි  එකම වෙලාවේ පට්ටිපොළට ඇවිත් ........“ 

මාධව මල්ලිගේ හඬත් එක්ක ක්‍රියාත්මක වුනු ලොවිඳුගේ කැමරාව සාක්ෂියකුත් ඉතුරු කළා....  ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි ටිකක් පරණ වෙනස්ම විදියේ දුම්රිය මාර්ග සංඥාවක් පාර අයිනේ තිබ්බා.... මේ ගැන  විස්තරාත්මක අවබෝධයක් නැතත් එහි ලීයෙන් තනා සුදු පැහැ ආලේපිත පට්ටම් දෙකක් තිරස් අතට කෝණ දෙකකින් අඩි තුනක් විතර උස සිරස් ලී කණුවක සවිකර තිබුණා...
එක් පට්ටමක 51 ලෙසත් අනෙක් පට්ටමේ ඉංග්‍රීසි ‘එල්‘ අකුරත් සටහන් කර තිබුණා.... පසුව යකඩයකා දුම්රිය ලෝලී සමූහයෙන් මේ පිළිබඳ විමසා බැලූ අතර එහිදී පිළිතුරු දුන් සහෘදයින් දක්වා සිටියේ දුම්රිය රියදුරන්ට ඉදිරි මාර්ගයේ ආනතිය ගැන දැක්වීමට  මෙම පුවරු භාවිතා වන බවයි. ඒ අනුව මෙම සළකුණ පිහිටි තැනින් එක් පසෙකට අඩි 51ට අඩි 1ක බෑවුමකුත් අනෙක් අතට සමමිතික මාර්ගයකුත් පවතින බව තමා සටහන් වී තිබුණේ.... 

සිල්පරෙන් සිල්පරේට අඩි තියමින් කෝච්චි පාර දිගේ ඇවිදගෙන යන ගමනකට වඩා වෙනස් විදියට වටපිට තොරතුරු බලමින් විචාර බුද්ධියෙන් යුතුව ඒ දේ  ගැන සොයා බලමින් කිලෝමීටර් 3.5ක දුරක් දුම්රිය මාර්ගය දිගේ පැමිණී  අපි ඊළඟට ආවෙ පට්ටිපොළ දුම්රියපොළට..... ඒ වෙනකොට වෙලාව දහවල් දොළහට ආසන්නයි. පට්ටිපොළ දුම්රියපොළ බොහොම කළබලකාරියි..... දුම්රිය ස්ථානාධිපති තුමාත් කාර්යාලයෙන් එළියට ඇවිත් පාර දිහා බලාගෙන.... දුම්රිය පොළේ එහා කෙළවරේ පොලිස් ජීප් රථයක්.... එහෙම වුණේ ඇයි? ඊළඟ ලිපියෙන් බලමු. 


සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ



ස්තූතිය - 
අඹේවෙල දුම්රිය ස්ථාන කාර්යය මණ්ඩලයට - අසුරංග මෙන්ඩිස් මහතාට - කසුන් දර්ශන මහතාට - ජ්‍යෙෂ්ඨ දුම්රිය රියදුරු සමන් ගුණවර්ධන මහතාට - පට්ටිපොළ දුම්රිය ස්ථීර මාර්ග පරීක්ෂක මහතාට-ප්‍රෙද්ශවාසීන්ට - වැඩසටහනට සහභෘගී වූ සැමට - යකඩ යකා ෆේස්බුක් සමූහයේ තොරතුරු දැක්වූ සහෘදයින්ට

සහභාගී වූවෝ -
චමත් මධු  - භාග්‍ය තිවංක - මාධව කසුන්ජිත් - වරුණ් දේමිත - ප්‍රභාෂ් මලිත - ඉන්දක කරුණාදාස - ලොවිඳු චතුරංග - ඕදිත වනසිංහ - මන්රුචි සිරිවර්ධන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

ඡායාරූප සපයා දුන් සියළු දෙනාට ස්තූතියි!

අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

අපගේ ගවේශන චාරිකා ගැන වැඩි විස්තර සඳහා මෙතැනට යන්න.

මීළඟ ලිපියට මෙතැනින් - පට්ටිපොළ සිට දුම්රිය මඟේ උසම ස්ථානයට පා ගමනින්

ලංකාවේ උසම දුම්රියපොළ අතර පාගමනින් සංචාරයක -02 කොටස

පට්ටිපොළ සිට දුම්රිය මඟේ උසම ස්ථානයට පා ගමනින්


උදේ 4ට පට්ටිපොළට ළඟාවෙන කොළඹින් බදුල්ලට යන රාත්‍රී තැපැල් දුම්රියට පසු යළිත් බදුල්ල දෙසට ධාවනය වන ප්‍රථම දුම්රිය  පට්ටිපොළට ළඟාවෙන මොහොතෙම තමා පාගමනින් ආව අපිත් පට්ටිපොළ දුම්රිය වේදිකාවට ගොඩවුණේ.... සාමාන්‍යෙයන් උදේ 10.15ට පට්ටිපොළට ළඟාවන දුම්රිය මෙදා ඊට පැයකට පස්සේ තමයි පට්ටිපොළට ළඟාවුණේ... 



ඒ නිසා සාමාන්‍යෙයන් ඔහියෙන් එකිනෙක මාරුවන කොළඹට  යන පොඩිමැණිකේ දුම්රිය මෙදා පට්ටිපොළෙන්  එකිනෙකා මාරුවෙන්නට නියමිතව තිබුණා.... සංඥා සහ මාර්ග ගත කිරීම් නිවැරදිදැයි බැලීමට එහි දුම්රිය ස්ථානාධිපතිවරයා වේදිකාවට ඇවිත් හිටියා.... පසුගිය ලිපියේ  අවසානයට දක්වා තිබුණු දුම්රියපොළේ කළබලකාරීත්වයට හේතුව ඒක තමා....පළමුවෙන් පැමිණි 1132 දුම්රිය එදා අමුණලා තිබුනේ අංක 788 දරණ එන්ජිමට.... තෙල් ටැංකි තුනක් බඩුපෙට්ටියක්..  සහ සාමාන්‍ය මඟී  මැදිරි තුනක් අමුණගෙන ආව දුම්රිය එදා දෙවැනි වේදිකාවට තමයි යොමු කෙරුණේ...  නානුඔයෙන් පස්සේ මෙම මාර්ගයේ දුම්රිය ස්ථානවල එක් වේදිකාවක් පමණක් තිබෙද්දි පට්ටිපොළ විතරක් වේදිකා  දෙකක් තිබුණා...එහෙම වුණේ පසුකාලීනව මෙහෙයුම් කටයුතු සඳහා ඉදිකළ තාවකාළික පස් ගොඩැල්ල වේදිකාවක් බවට පරිවර්තනය වීම නිසා.... තහවුරු කළ ආරංචි පවසන්නේ මෙම වේදිකාව පසුගිය වසර 20 ඇතුළත  ඉදිවූ එකක් බවයි. 1132 දුම්රියෙන් මඟින් 25ක් පමණ බැස ගිය අතර දහයකට අඩු පිරිසක් ගොඩවුණා... උඩරට මැණිකේ දුම්රියට විදේශිකයින් ඇතුළු පහළොවක පමණ පිරිසක් ගොඩවෙද්දි ඒ හා සමාන පිරිසක් බැස ගියා....


ලෝකයේ විවිධ රටවල දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා... මේ රටවල දුම්රිය මාර්ගයේ පීළි අතර අභ්‍යන්තර පරතරය එකිනෙකට වෙනස්....  1864 දි ලංකාවේ දුම්රිය මාර්ගය ඉදිවන්නේ එවකට ඉන්දියානු දුම්රිය මාර්ග 
සඳහා සම්මත අගය ලෙස සැලැකූ  පළල අඩි 5කුත් අඟල් 6ක් ලෙසටමයි.  එම පීළි අතර පරතරයේ සම්මතය Indian Board Guage ලෙස හඳුන්වනවා.... මෙයට අමතරව අඩි 2 අගල් 6 ක් පරතරය තියෙන පටු මාර්ගය කුත්  අපේ රටේ අතීතයේ ක්‍රියාත්මක වුණා.... ඒ කැළණිවැලි, සබරගමු සහ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ග වල....එය  762mm Narrow Guage නමින් තමයි හැඳින්වූවේ.  Indian Board Guage දුම්රිය මාර්ග ක්‍රියාත්මක වන ලෝකයේ උසම දුම්රිය මාර්ගය තියෙන්නේ ලංකාවේ.... ඒ අනුව Indian Board Guage මාර්ගයක පිහිටා ඇති ලෝකයේ උසම දුම්රියපොළ තමයි පට්ටිපොල. 

ලංකාවේ ඉහළින්ම පිහිටි දුම්රියපොළ අතර පාගමන් චාරිකාවක යෙදුනු MegaaHike පිරිවරේ චාරිකා සටහන අද ඇරඹෙන්නේ එවන් සුවිශේෂ වටිනාකම් තියෙන පට්ටිපොළ දුම්රියපොළෙන් ඉදිරියට ඔහිය බලා ගිය
ගමනේ  තොරතුරුත් එක්ක..... 




ලංකාවේ උසම දුම්රිය පොළ තමයි පට්ටිපොළ දුම්රිය ස්ථානය. ඒවගේම ලෝකයේ Indian Board Guage මාර්ගයක පිහිටා ඇති උසම දුම්රිය පොළත් පට්ටිපොළ. උස මුහුදු මට්ටමේ සිට මීටර 1891ක්. අඩි වලින් නම් 6204ක් .නමුත් ඉතිහාසය හා සසැඳීමේදී එක්තරා කාලයක ලංකාවේ උසම දුම්රිය පොළ තිබුණේ උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගයේ... ඒ කඳපොළ දුම්රිය පොළ. උස මහුදු මට්ටමේ සිට අඩි  6316ක්. ලෝකයේ දුම්රියක් ගමන්කරන උසම ස්ථානය පිහිටා තියෙන්නේ චීනයේ.Qinghai–Tibet අතර. එහි උසම ස්ථානය  Tanggula දුම්රිය ස්ථානයයි. උස මුහුදු මට්ටමේ සිට මීටර 5,068ක්. අඩි වලින් නම් 16,627ක්. මේ මාර්ගය විවෘත කර ඇත්තේ 2006දී.  කොළඹ ඉඳලා කිලෝමීටර් 225ක දුරින් (මේ දුරවල් සම්බන්ධ මිනුම් දෙකක් පවතිනවා... එක් ලේඛණයකට අනුව පට්ටිපොළ කොළඹින් කිලෝමීටර් 225ක් වෙද්දි තවත් ලේඛණයක පට්ටිපොළට දුර කිමී 223.1ක්. මින් නිවැරද්ද කුමක්ද යන්න ගැටළුවක්....ඇත්තටම මෙතනදි සිදුවි ඇත්තේ පෙර මිනුමේ ඇරඹුම පැරණි කොළඹ දුම්රියපොළ වන වත්මන් මරදාන දුම්රිය කෞතුකාගාරයේ  සිටත් නව මිනුම කොළඹ කොටුව දුම්රියපොළේ සිටත් ගණනය කර සටහන් කර තිබීම..මේ ස්ථාන දෙක අතර දුර වෙනස කි.මී. 1.9ක් ) උඩරට මාර්ගයේ පිහිටා තිබෙන පට්ටිපොළ දුම්රියපොළ ප්‍රධාන මාර්ගයකින්  හා  අතුරු මාර්ගයකින් සමන්විත යි. ඒවගේම දුම්රිය පොළට ටිකක් ඈතින් ඩක්කු සඳහා වන අතුරු මාර්ග කොටසකුත් තියෙනවා... පට්ටිපොළත් සාමාන්‍යෙයන් මේ මාර්ගයේ දෛනිකව ගමන් යන සියළු දුම්රියයන් නවත්වන දුම්රියපොළක්.... නුවරඑළියේ සිට මීපිළිමාන හරහා අඹේවෙල පහුකරගෙන  හෝටන් තැන්නට යන මාර්ගය පිහිටා තියෙන්නේ පට්ටිපොළ දුම්රියපොළ අසළින්... ඇත්තටම කිව්වොත් මේ මාර්ගයෙන් පට්ටිපොළ දුම්රියපොළ තුන්පැත්තකින් මායිම් වෙනවා.... 



අපි මේ ගමන එන්න දවස් කිහිපයකට කළින් පට්ටිපොළ අංක 19 බිංගෙය අසළින් පොළිස් නිළධාරියෙකුගේ මළසිරුරක් හමුවෙලා තිබුණා... ඒ ගැන පරීක්ෂණ කටයුතු වලට ආව පොළිස් නිළධාරීන් පිරිසක් පට්ටිපොළ 
දුම්රිය  පොළ අසළ තමන්ගේ ජීප් රථය නවත්වගෙන හිටියා.... පට්ටිපොළ දුම්රිය පොළට අමතරව ඒ ආශ්‍රිතව නිළධාරී නිළනිවාස, පට්ටිපොළ ස්ථීර මාර්ග පරීක්ෂක කාර්යාලය වගේ සේවයට අදාළ තවත් ගොඩනැඟිලි 
සමූහයක් තියෙනවා... අක්කරයකට ආසන්න වපසරියක පැතිරිලා තියෙන දුම්රිය ස්ථාන බිමේ දුම්රිය ස්ථාන විවේකාගාරයට යාබදව සංචාරක තොරතුරු මධ්‍යස්ථානයකුත් තියෙනවා... අඹේවෙලදි වගේම පට්ටිපොළදිත් 
දැකපු තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි දුම්රිය ස්ථාන වල වැසිකිළි පද්ධතිය බොහොම පිළිවෙලට හා පිරිසිදුවට පවත්වාගෙන යාම... කොළඹ කොටුවේ වත් නැති තරම් පිරිසිදුවට හා පිළිවෙලට (කොටුවේත් විදේශිකයින්ට  පමණක් වෙන්වූ වැසිකිළි පහසුකම් තියෙනවා.) මේ වැසිකිළි පවත්වාගෙන යාමට හේතුව විදේශීය සංචාරකයින් බහුතරයක් මෙම දුම්රියපොළ භාවිතා කිරීම බවයි අසන්නට ලැබුණේ....

මෙතෙක් වේලා දුම්රිය ගමනාගමනය ආශ්‍රිතව සුවිශේෂී වටිනාකමක් නොමැති නමුත් වටිනා පාරිසරික පද්ධතියක් ඔස්සේ පැමිණි අපිට පට්ටිපොළදි අඩුවක් නැතිව ගවේශනයට දුම්රිය ආශ්‍රිත මාතෘකා රාශියක් ලැබුණා... දැන් මේ සූදානම එක්  එක් කරුණු ගැන වැඩි දුර විස්තර සොයා බලන්න. සාමාන්‍යෙයන් දුම්රියපොළක දක්නට නොලැබෙන අපූරු උපාංගයක් පට්ටිපොළ දුම්රිය පොළ ආසන්නයේ තියෙන උස් ටර්පන්ටයින් ගසක සවිකරලා තියෙනවා.... ඒක උෂ්ණත්වමානයක්.... චීනයේ නිෂ්පාදිත මේ උෂ්ණත්වමානයේ සෙන්ටිග්‍රේඩ් හා ෆැරන්හයිට් අංශක වලින් අංකනය කර තිබෙනවා.... දහවල් දොළහට ඔන්න මෙන්න කියන වෙලාවෙදිත් අංශක 21ට අඩු උෂ්ණත්වයක් සටහන් වුණු මෙම උෂ්ණත්වමාපකය සමහර රාත්‍රීන් වල අංශක සෙල්සියස් අංශක 3-4 තරම් පහත අගයක් දක්වන බව තමයි දුම්රිය ස්ථානාධිපති චානක පේළිආරච්චි මහතා අපිත් සමඟ පැවසුවේ.


පට්ටිපොළ දුම්රිය පොළ ඉදිව තිබෙන්නේ 1885ත් 1894ත් අතර කාළයේදී.... නානුඔය දක්වා දුම්රිය මාර්ගය විවෘත වීම සිද්ධ වෙලා තියෙන්නේ  1885 මැයි 20දා. එය බණ්ඩාරවෙලට දීර්ඝ කර තිබෙන්නේ 1894 සැප්තැම්බර් 13දා.බ්‍රිතාන්‍ය යුගයේ මෙරට ඉදිකළ පැරණි පට්ටිපොළ දුම්රියපොළ දැවයෙන් නිමකළ එකක් බවට ජනප්‍රවාද වල සඳහන්. එය දැන් පවතින දුම්රිය පොළේ ඔහිය අන්තයේ වත්මන් බුදු මැදුරට සමීපව තමා තිබී ඇත්තේ... පසුකාලීනව දුම්රිය ගමනාගමනය ඇරඹී වසර කිහිපයකින් දර්ශීය ලාංකීය දුම්රියපොළක ආකෘතියෙන් නිමවා ඇති  මෙම දුම්රියපොළට පිවිසුම් මාර්ගයක් නෑ... ඒ කියන්නේ කිසිම කෙනෙකුට මේ දුම්රියපොළට වාහනයකින් එන්න බෑ කියන එකයි.... ප්‍රවේශපත්‍ර කවුන්ටරය අසළට එන්න අඩුම මීටර් 100ක දුරක් වත් පාගමනින් පැමිණිය යුතුයි. ඉංග්‍රීසි සමයේ කොතරම් අවධානයකින් හා උනන්දුවකින් මෙම ඉදිකිරීම් කළාද කියනවානම් අදටත් කිසිදු ගරාවැටීමකින් තොරව දුම්රියපොළ ගොඩනැඟිල්ල යහපත් තත්වයෙන් පවතිනවා... දොර ජනෙල් සියල්ලත් ඒවගේම තමයි.... ඉංග්‍රීසි සමයේ සවිකළ දොර සරනේරු අදටත් පට්ටිපොළ දුම්රියපොළේ තියෙනවා... බ්‍රිතාන්‍ය  කිරුළ සහිත සළකුණ එහි අපූරුවට සටහන් වෙනවා.... මේ සරනේරු බ්‍රිතාන්‍යෙයන්ම නිෂ්පාදනය කර මෙරටට රැගෙන අවාද නැතහොත් මෙරටදි නිෂ්පාදනය කළාද යන්න නම් දැනගන්නට හැකියාවක් තිබුණේ නෑ...ඒ වගේම තවත් අපූරු උපාංගයක් පට්ටිපොළ දුම්රියපොළේ ස්ථානාධීපති කාමරයේ තියෙනවා.... දුම්රියේ ගමනාගමනය යාබද දුම්රියපොළවලට දැනුම්දීමට භාවිතා වන ටැබ්ලට් උපකරණය හා සම්බන්ධ වුණු දුරකථනයක්  එම ක්‍රමය ක්‍රියාත්මක වන හැම දුම්රිය ස්ථානයකම තියෙනවා...පට්ටිපොළ දුම්රියපොළේත් එහෙම දුරකථනයක් තිබෙන නමුත් ඒ දුරකථනයට සම්බන්ධ රිසිවරය සාමාන්‍යෙයන් දකින රිසීවරයකට වඩා වෙනස්... ටැබ්ලට්  යන්ත්‍ර සහිත මේසයේ ටැබ්ලට් යන්ත්‍ර දෙකට හරි මැදින් සිරස්ව සවිකළ පුවරුවක සවිකළ මයික්‍රොෆෝනයක් සහ එම ලෑල්ලේ සවිකළ පරිපථයකට වයරයකින් සම්බන්ධ කළ ශ්‍රවණ ඒකකයකුත් තියෙන මේ දුරකථනය වෙනත් දුම්රිය පොළකදී දකින්න ලැබිලා නෑ...   


ලංකාවේ උසම දුම්රියපොළ වන පට්ටිපොළ දී දුම්රිය එන්ජින් හුවමාරු කිරීම නිරන්තරව සිදුවනවා.... කොළඹ දෙසින් ගියත් බදුල්ල දෙසින් ගියත් හමුවන ඉහළම දුම්රිය ස්ථානය නිසා රාත්‍රී තැපැල් දුම්රියයන්හී අනිවාර්යයෙන්මත් තවත් සමහර අවස්ථා වල වෙනත් දුම්රිය වලත් ඉදිරිපසින් හෝ පසුපසින් අමුණාගෙන එන අතිරේක එන්ජිම පට්ටිපොළදි දුම්රියේ ඉදිරියට හෝ පසුපසට යළි අමුණා සකස් කිරීම සිදුවෙනවා...දැනට නම් ගම්පොළින් හෝ නාවලපිටියෙන්  පසුපසින් අමුණන (Pilot) සහායක එන්ජිම පට්ටිපොළදී ඉදිරියෙන් අමුණනවා(Bank)....බදුල්ලේ සිට කොළඹ දෙසට එද්දිත් ඒ ක්‍රියාවලියම සිද්ධවෙනවා...අද මෙන් නොව අතීතයේදී මෙම මාර්ගයේ ධාවනය වූ  සියළු ප්‍රධාන දුම්රියයන්ට සහායක එන්ජින් භාවිතා වී තිබෙනවා... වාෂ්ප එන්ජින් භාවිතා වූ සමයේදී තලවාකැලේ සිට පට්ටිපොලට පැමිනෙන සහායක එන්ජිම පට්ටිපොළදි ගලවා  නැවැත තලවාකැලේටම ගෙනයනවා...බදුල්ලේ සිට පැමිණෙන සහායක එන්ජිමත් එලෙසම හරවා යවනවා.... ඩීසල් එන්ජින් වලදී මෙන් නොව වාෂ්ප එන්ජින් වලදී දෙපසටම මුහුණලා ධාවනයේ අපහසුවක් තිබෙනවා....මොකද ගල්අඟුරු රඳවනය ඉදිරියෙන් තැබීමෙන් ප්‍රායෝගික ගැටළු මතුවන නිසා... මේ නිසා ආපසු ධාවනයේදී එන්ජීම හැරවීම සිදුවුණා... ආසන්න නානුඔයදී මේ ක්‍රියාවලිය සිදුකිරීමට හැරවුම් මේසයක් තිබුණත් පට්ටිපොලදී නම් හැරවුම් මේසයක් ස්ථාපිත කරලා තිබුණේ නෑ...මේ වෙනුවට පට්ටිපොළ සකසා තිබී ඇත්තේ ත්‍රිකෝණාකාර දුම්රිය මඟක්. ඒවගේම  1951 ජනවාරි මස 6 දා ආරම්භ වුණු අංක 18 බිංගය හා සම්බන්ධ අභ්‍යන්තර පාංශු ඛාදනය  නිසා 1984 දක්වා කාළය තුළ වරින් වර මේ සීමා කිරීම් කරන්න වුණා...මෙහිදී මඟී දුම්රිය නානුඔය දක්වා සීමා කරන්නට ඇති අතර ( බස් රථ මඟින් හපුතලේ, බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා ප්‍රවාහන පහසුකම් සැපයිය හැකි ආසන්න ප්‍රධාන නැවතුම්පොළ නිසා) සේවා දුම්රිය ධාවනය අංක 18 වැඩබිම දක්වා සිදු කරන්නට ඇත.ඒ අවස්ථාවන් වලදීත් එන්ජින් හුවමාරුව සිදුකරන්නට ඇත්තේ පට්ටිපොළදි.... මේ සමඟ ඇති රූපයේ එම ක්‍රියාදාමය පැහැදිලිව සිතියමකින් විස්තර කර තිබෙනවා.... ඒ අනුව නානුඔය දෙසින් පැමිණෙන දුම්රියක  එන්ජිම ඔහිය දෙසට ධාවනය කර ඉන්පසු යළි පසුපසට ධාවනය කර ත්‍රිකෝණාකාර මාර්ගයට ඇතුළු කරනවා... ඉන්පසු එහි කෙළවරට යන එන්ජිම යළි ඉදිරියට ධාවනය කරමින් ඔහිය දෙසට ගොස් ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වී ආපසු  පිටුපසට පැමිණෙනවා... එසේ පැමිණ අවශ්‍ය නම් ආපසු මැදිරි සමඟ සම්බන්ධ වන එන්ජිම නානුඔය දෙසට මුහුණලා ධාවනය කරනවා... මෙම තොරතුරු සහතික කිරීම පිණිස සහය වූ  යකඩ යකා සමූහයේ  තූර්ය ඕවිටිපාන,  නිලුපුල් වික්‍රමගේ  නලීන් අබේසිංහ සහෘදයින්ට සහ අදහස් දැක්වූ අනෙක් පිරිසට ද ස්තූතිවන්ත විය යුතුයි. මේ ගැන මා ලියූ ලිපියක් රිවිර “කෝච්චියේ අපි“ පිටුවේ පළවී තිබූ අතර ඒ ලිපිය මෙතැනින් බලන්න පුළුවන්. 



දුම්රිය ත්‍රිකෝණයේ ක්‍රියාකාරීත්වය ගැන අපිට විස්තර කළ චානක පේළිආරච්චි මහතා ඉන්පසුව අපිව රැගෙන ගියේ එහි ඔහිය දෙසට වන්නට ඇති කෙළවරට.... එහි ඇති පීලි පැන්නුමකට සම්බන්ධ ලීවරය පෙන්වූ ඔහු
මෙහි විශේෂත්වයක් තිබෙන බව අපිට කියා සිටියා....ඔහු පෙන්වූ ලීවරය සාමාන්‍යෙයන් අපි දකින ලීවරයක් මෙන් සෘජු දණ්ඩක් නොවූ අතර කලාත්මක ආනතියකින් හා එහි අග රෝදයක් වැනි කොටසකින්ද යුක්ත වූ එකක්.මෙම ලීවරය සමනළ ලීවරය ලෙස හඳුන්වන බවද, අතීතයේ මෙවැනි ලීවර සාමාන්‍යෙයන් භාවිතයට ගත්තද, දැනටමෙරට ඇති  භාවිතා කළ හැකි මට්ටමේ පවතින එකම සමනළ ලීවරය අප අභියස තිබෙන මෙම ලීවරය පමණක් බවද අපිට පැවසූවා.... එය ක්‍රියාත්මක වන්නේ සිරස්ව එසවීමෙන් නොවන බවත් තිරස්ව අංශක 90ක් කැරකැවීමෙන් ක්‍රමයෙන් ඉහළ නඟින ලීවරයෙන් නිසි ලෙස පීල්ල ස්ථානගතවන බවත් ඔහු තවදුරටත් විස්තර කළා.... චාරිකාව නිමාවීමෙන් පසු පීළි මාරුවීම් ඇති තැන්වල මෙවැනි ලීවර ගැන විමසිළිමත් වූවද දැක ගැනීමට අවස්ථාවක් නොලැබුණු අතර යකඩ යකා සමූහයෙන් අදහස් විමසූවද එයින්ද නිසි පිළිතුරක් ලැබුණේ නෑ.... ඒ නිසා තහවුරු නොකළ තොරතුරක් ලෙස මෙම “සමනළ ලීවරය“ ගැන මෙහි දක්වන්නේ අනාගතයේ සොයාබලන අයෙකු ට වැඩිදුර ගවේශනයට ඉඩකඩ ඉතිරි කරමින්.... 

“සමනළ ලීවරය“ තියෙන තැන ඉඳන් හාත්පස බලන විට දුම්රිය ස්ථානයට ඉහළින් ඈතින් දිස්වෙන කඳු පන්තියක් දකින්න පුළුවන්.... මේ කඳු යායේ ඉහළම කන්ද තමා “තොටුපොළ කන්ද“.රාවණා රජුගේ දඬුමොණරය හා සම්බන්ධ ජනකතා වලට ප්‍රස්තූත වන තොටුපොළ කන්දට මේ නම ලැබුණේ දඬුමොණරය සඳහා ගුවන් තොටුපොළ විදියට භාවිතා කළ නිසා කියලයි කියන්නේ...ලංකාවේ කඳු මුදුන් අතරින් උසින් තෙවැනි තැන ගන්න තොටුපොළ කන්ද මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2357ක් (අඩි 7733)  උසයි. 


පට්ටිපොළ දුම්රිය පොළේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයට යාබදව පුංචි පොකුණක අපූරු මලක් පිපිලා තිබුණා... මේක අපි නිතරම දකින ඕළු මල වගේ වුණත්  සුදු පාට නෑ... කහපාටින් දිදුලන මේ ඕළු මල මෙක්සිකෝව, එක්සත් ජනපදය වගේ රටවල වැවෙන මල් විශේෂයක්.  ලංකාවට පසුකාළීනව හඳුන්වා දුන් ආගන්තුක පැළැටියක්. Nymphaea mexicana හෝ  Nymphaea හි වෙනත් විශේෂයක් වන්නට ඉඩ ඇති මේ මල් සහිත පොකුණ පට්ටිපොළ දුම්රිය පොළේ සුන්දරත්වය වැඩි කරන්නට හේතු වුණා... පට්ටිපොළ දුම්රියපොළේ බුදු මැදුරට ගෞරව පූර්වකව වැඳ නමස්කාර කළ අපි පට්ටිපොල දුම්රිය පොළේ කෙළවරටම ඇවිද ගියා... වේලාව දවල් දොළහ වෙද්දි කණ්ඩායමේ ඡායාරූප ශිල්පීන් හැමෝටම මෙතෙක් වේලා නොතිබුණු තරමේ හදීසියක්.... මොකද තවත් කිලෝමිටරයක පමණ  දුරකින් හමුවෙන් “සමිට් ලෙවල්“ වලදි ඊළඟට මෙ ම මාර්ගයේ ධාවනය වන 1008 දුම්රිය කැමරා වල සටහන් කරගන්නට තිබෙන වුවමනාව.... 1008 දුම්රිය එතරම් සුවිශේෂී වන්නේ වත්මනේ මෙම මාර්ගයේ ධාවනය වන චීන දුම්රිය මැදිරි  වලින් සමන්විත නොවී පැරණි එන්ජිමක් හා රුමේනියන් මැදිරි යොදාගෙන මෙම දුම්රිය ධාවනය වන නිසා....දුම්රිය එම ස්ථානයට ළඟා වීමට තවත් මිනිත්තු 30ක් විතර තිබුණා. ඒ නිසා පට්ටිපොළ දුම්රියපොළෙන් නික්මෙන්නට මේ සුදුසුම  මොහොත බව අපි තීරණය කළා....  

ඒත් පට්ටිපොළදී නැරඹිය යුතුම තවත් එක් දෙයක් අපේ ගමන් සළකුණු වල සටහන් වෙලා තියෙද්දි ඔරලෝසුවත් එක්ක තරඟ කරන්න අපිට සිදුවුණා...ඒත් අතහැරයනු වෙනුවට දෑස් මනෙට වත් ගිහින් යන්න වුවමනාවක් තිබුණු නිසා දුම්රිය හරස් මාර්ගයෙන් වම් පැත්තට ස්ථීර මාර්ග පරීක්ෂක කාර්යාලය පහුකරගෙන ගිය අපි මීටර් පණහක පමණ ගමනින් අදාළ ස්ථානයට ළඟා වුණා... ඒ තමයි පට්ටිපොළ වෙඩි බෙහෙත් ගබඩාව.... ඔහිය, බණ්ඩාරවෙල සහ පේරාදෙණිය වෙඩි බෙහෙත් ගබඩා ගැන ගොඩක් දුම්රිය ලෝලීන් දැනගෙන හිටියත් පට්ටිපොළ වෙඩි බෙහෙත් ගබඩාව ගැන ගොඩක් දෙනා දන්නේ නෑ...ඇත්තටම මේ ගමනට කළින් ඒ ගැන මම දැනගෙන හිටියෙත් නෑ... මට මේ ගැන විස්තරය දුන්නේ මේ ගමනට මගෙත් එක්ක ආව කණ්ඩායමේ හිටිය ප්‍රභාෂ් මල්ලි.  රඹුක්කනින් ඉහළට මාර්ගයේ සෑම ස්ථීර මාර්ග පරීක්ෂක ගබඩාවකටම සම්බන්ධව ගබඩාවට ටිකක් ඈතින් වෙඩි බෙහෙත් ගබඩාවක් ස්ථාපිත කරලා තිබෙනවා... ඒකට හේතුත් - වෙඩි බෙහෙත් ගබඩාවේ වැදගත්කමත් ඔහියෙදි කතාකරන්න හිතපු අපි නැවැත රේල් පාරට ඇවිත් සමිට් ලෙවල් දෙසට පාගමන ආරම්භ කළා.



පට්ටිපොළෙන් පස්සේ ආපහු ඔහියට යන තුරු කිසිදු මිනිස් වාසයක් නෑ... හෝටන් තැන්න සීමාවෙන් හෝ හෝටන් තැන්න වන රක්ෂිතය තුළින් තමයි දුම්රිය මාර්ගය වැටිලා තියෙන්නේ... අතීතයේ දුම්රිය මාර්ගය ඉදිකරණ සමයේ පට්ටිපොළත් හපුතලෙත් අතර කිසිදු ජනාවාසයක් හෝ මහා මාර්ගයක් තිබිලා නෑ... සැපයුම් මාර්ග මොනවත් නැතිව දුම්රිය මාර්ගයට අවශ්‍ය ඉඩම් තීරණය කිරීමේ ඉඳලා දුම්රිය මාර්ගය ඉදිකිරීම දක්වා සියළු දේ කරන්න කොච්චර අපහසු වෙන්න ඇතිද?  මෙන්න මේ ගැටළුව පට්ටිපොළෙන් ඉදිරියට ඇදෙන අපේ කටගැස්ම බවට පත්වුණා... ඒක අවසානයේ නැවතුනේ ඔහිය ස්ථිර දුම්රිය මාර්ග පරීක්ෂක වරයා ළඟ... ඒ අපේ චාරිකාවේ දෙවැනි දිනයෙදි... ඒත් එතැනදි ලැබෙන  පිළිතුර පුදුම කරවන අන්දමේ එකක්... ඒ ගැන ඉදිරියට විස්තර කරන්නම්....

දුම්රිය මාර්ග චාරිකා නැත්නම්  RailHike සංස්කෘතිය මෙරට තරුණ පිරිස් අතර ජනප්‍රිය කරන්න ෆේස්බුක් එක පසුගිය කාළයේ ලොකු හේතුවක් වුණා...  අතීතයේ ඉඳන් ගවේශකයින්ගේ කැමැත්ත තිබුණත් - උපදෙස්
 නැතිකමත්- රේල් පාරේ අද්භූත බව හා පනවා ඇති නීතිමය තත්වයන් නිසාත් දුම්රිය මාර්ගය දිගේ පයින් යන්න ගොඩක් පිරිස් ඉදිරිපත් වුණේ නෑ...  පේරාදෙණිය ප්‍රමුඛව අනෙකුත්  විශ්වවිද්‍යාල  ශිෂ්‍යයින් සිය ගවේශන කණ්ඩායම් සමඟ විටින් විට දුම්රිය මාර්ග පාගමන් ගියත් මුහුණුපොත නිසා දුම්රිය මාර්ග චාරිකා රැල්ලක් ඇති වුණා කිව්වොත් නිවැරදියි... ඒ රැල්ල ඇති වුණේ දුම්රිය ලෝලීන්ගේ එකතූන් මුහුණුපොත තුළ සක්‍රිය විමත් සමඟයි... යකඩ යකා සමූහය  එයින් ප්‍රමුඛම දුම්රිය ලෝලීන්ගේ එකමුතුවක්.... මෙහි ආරම්භක සාමාජිකයින් කිහිප දෙනෙක් පුද්ගලිකව එකමුතු වී ගිය දුම්රිය මාර්ග චාරිකා වලින් අනෙක් සාමාජිකයින්ගේ උනන්දුව වැඩිවුණා... එම උනන්දුව සමඟ විවෘත ආරාධනයෙන් බොහෝ දෙනෙකුට සහභාගී විය හැකි ඉසව් ලෙස දුම්රිය මාර්ග චාරිකා  සංවිධානය කළේ සඳරුවන් කුඩාහෙට්ටි සහ විදුර සචින්තක කියන සහෘදයින්....යකඩයකා සමූහයෙන් ඉවත්වී  ඒ වෙනුවෙන්ම ෆේස්බුක් සමූහයක්  ගොඩනඟා වසර දෙකක් තුළ දුම්රිය මාර්ග චාරිකා ඉසව් 10ක් සංවිධානය කළ අතර එය ෆේස්බුක් සමාජජාලය තුළ  දුම්රිය මාර්ග චාරිකා ගැන උනන්දුවක් ඇති කිරීමට මනා පිටුබලයක් ලබාදුන්නා... සඳරුවන් සංවිධානය කළ හයවැනි දුම්රිය මාර්ග චාරිකාව ක්‍රියාත්මක වුණේ පට්ටිපොළ ආශ්‍රිතව.... එහි සාමාජිකයෙකු වුණු චමත් කාංචනකුඩා මෙවර මා සංවිධානය කළ ඉසව්වේත් සාමාජිකයෙක් වෙලා ......

“ ප්‍රදීප් අයියේ.... රේල් හයික් 6දි අපේ කට්ටිය සිල්පරේක රේල් හයික් කියලා සුදු තීන්තෙන් ලිව්වා.... මම මේ ඒක තාම තියෙනවාද කියලා බලන ගමන්.....“

“මමත් මීට කළින් හයික් එකක් යද්දි ඔය සිල්පරේ දැකලා තියෙනවා....“ මම කිව්වා....

“දැනට අවුරුදු 2-3ක් වෙන නිසා දැන්නම් සිල්පර මාරු වෙලා ඇති....“ ඒ අපේ කණ්ඩායමේ මන්රුචි...

“නෑ... මේ හරියේ දාලා තියෙන්නේ යකඩ සිල්පරනේ....අනෙක දවසට කෝච්චි දහයක්වත් යන්නේ නෑනේ.... මේවා කාළෙකට මාරු කරන්නේ නෑ...“ ඒ ලොවිඳු මල්ලි...




කොහොමින් කොහොම හරි රේල් හයික් ගැන වගේම රේල් ෆෑන් ගෘප් ගැන සංවාදයකුත් සමඟ මඟ දිගට අතුරලා තිබුණු සිල්පර ගැන අවධානයෙන් ගිය අපිට මාතෘකාව වුණු සිල්පරය හමුවුණා... ඒ සිල්පරය ඡායාරූපයකට ගන්න උනන්දු වුණු දෙතුන් දෙනා ගේ පමාවෙන් පසු අපි කෙළින්ම ගියේ ලංකාවේ දුම්රිය මාර්ගයක උසම තැන දක්වා ..... මේ හරියේ ගස්වැල් වල ඇඹරුණු ස්වභාවයක් දකින්න ලැබෙනවා...  ගස් උසින් අඩුයි. ගස් කඳන් රළුයි. මේ කඳුකර පිග්මි වනාන්තරයක ලක්ෂණ. එනම් ඇත්තේ කුරු ගස්. එසේ වී ඇත්තේ මෙම ප්‍රදේශයේ ඇති දැඩි සුළඟට ඔරොත්තු දිය හැකි වන පරිදි.විශේෂයෙන් ජූනී මාසය වන විට පැයට කිලෝ මීටර 31 ක පමණ වේගයෙන් හෝටන් තැන්න හරහා හමන සුළඟේ වේගය වැඩි වෙනවා.ඒ නිසා මේ අවට ගස් සාමාන්‍යයෙන් උස අඩුයි. උපරිම උස මීටර 12-15 ක් පමණ වන අතර ගස් මුදුන කුඩයක හැඩයක් ගන්නවා.....ලංකාවේ දුම්රියමාර්ගයේ උසම තැන හඳුන්වන සුපුරුදු නාමය වන්නේ “සමිට් ලෙවල්“ යනුවෙන්... එහි දුම්රිය මාර්ගය දෙපස විස්තර සඳහන් පුවරු දෙකක් සවිකර තිබෙනවා... එහි මෙට්‍රික් ක්‍රමයට හා පැරණි ක්‍රමයට මෙම ස්ථානයට දුර සහ උස සඳහන් කර තිබෙනවා. එහි සඳහන් වන හැටියට මුහුදු මට්ටමේ සිට අඩි 6226ක් උසින් තමා මේ ස්ථානය පිහිටා තියෙන්නේ...මීටර් නම් 1898.1ක්. ඒ වගේම කොළඹ සිට දුර කිලෝමීටර් 224.007ක්. සැතැපුම් 139ක් දම්වැල් 66.5ක්.

වෙලාව දවල් 1යි. පට්ටිපොළට දුම්රිය ළඟා විය යුතු වේලාව ටිකක් විතර පහුවෙලා....ඒ ඉඟි කරන්නේ 1008 අද දවසේ ප්‍රමාද වන බවයි. 

“කීයට හරි 1008 සමිට් ලෙවල් වලට එනකම් මෙතනින් එහාට අඩියක් යන්නේ නෑ....“ 

ප්‍රභාෂ් මල්ලි එහෙම කියල  හොඳ ෆොටෝ එකකට ගැලපෙන තැනක් හොයල අකුල් කඩාගෙන , කණ්ඩියක් උඩට ගිහින් නැවතුනා.වරුණ මල්ලියි, කසුන් මල්ලියි අතරමඟ කෑමට ගෙනාපු රටකජු, බිස්කට් ටික ඉවර කරන්න හොඳම වෙලාව මේක තමයි කියපු කට්ටිය ඒ වෙනුවෙන් සූදානම් වුණා..... ලෝකයේ පුළුල් මාර්ග දුම්රියක් ගමන් කරන ඉහළම ස්ථානයේ ඉඳන් භුක්ති විඳින්නට සූදානම් වුණු පිරිවරේ අතුරු භෝජනයට 1008 දුම්රියෙන් ඉඩක් ලැබුණද නැද්ද කියල ඊළඟ ලිපියෙන් දැනගමු. 

ස්තූතිය - දිස්ත්‍රික් ඉංජිනේරු (ඉහළ) , ඔහිය ස්ථීර මාර්ග පරීක්ෂක ඇන්ටන් වික්‍රමරත්න මහතාට,  පට්ටිපොළ දුම්රිය ස්ථානාධිපති චානක පේළිආරච්චි මහතා ඇතුළු  දුම්රිය ස්ථාන කාර්යය මණ්ඩලයට - අසුරංග මෙන්ඩිස් මහතාට - කසුන් දර්ශන මහතාට -රසික කරුණාතිලක මහතාට - ජ්‍යෙෂ්ඨ දුම්රිය රියදුරු සමන් ගුණවර්ධන මහතාට - පට්ටිපොළ දුම්රිය ස්ථීර මාර්ග පරීක්ෂක මහතාට ප්‍රදේශවාසීන්ට - වැඩසටහනට සහභාගී වූ සැමට - යකඩ යකා ෆේස්බුක් සමූහයේ තොරතුරු දැක්වූ සහෘදයින්ට 

සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ



සහභාගී වූවෝ -
චමත් මධු  - භාග්‍ය තිවංක - මාධව කසුන්ජිත් - වරුණ් දේමිත - ප්‍රභාෂ් මලිත  - ඉන්දක කරුණාදාස - ලොවිඳු චතුරංග - ඕදිත වනසිංහ - මන්රුචි සිරිවර්ධන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

ඡායාරූප සපයා දුන් සියළු දෙනාට ස්තූතියි!

අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

අපගේ ගවේශන චාරිකා ගැන වැඩි විස්තර සඳහා මෙතැනට යන්න.

ගවේශනය කළ යුතු ස්ථාන සහ ඔබ දන්නා සුවිශේෂි තොරතුරු අපිට කියන්න. ඊමේල් ලිපිනය - outofboxsrilanka@gmail.com

මීළඟ ලිපියට -