උඩරට මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර පිහිටි කෝවිලේ කතාව
කඳුකර මාර්ගයේ බොහෝ දුම්රිය ගමන් වල යෙදී තිබුණද, මේ සුවිශේෂී පාරිසරික කලාපයේදී එක් බිංගෙයකින් ඊළඟ බිංගෙයට පිවිසෙන හැටි දැකගන්නට වුවමනාවෙන් පමණක් යන බොහෝ අතීත දුම්රිය ගමන් වලදී එම කෝවිල දැකගන්නට මගේ දෑස් පිං කර තිබුණේ නැත. මේ කෝවිල ගැන මට මුලින්ම විස්තර කීවේ 2014-2016 කාලසීමාවේ ඔහිය දුම්රිය මාර්ග කොට්ඨාශයේ අධික්ෂණ කළමනාකරු ලෙස කටයුතු කළ ඇන්ටන් විරෝෂාන් වික්‍රමරත්න මහතාය. ඔහු දැනට ප්‍රධාන මාර්ගයේ මධ්‍යම කොට්ඨාශයේ ප්‍රධාන දුම්රිය මාර්ග අධීක්ෂණ කළමණාකරු ලෙස කටයුතු කරයි.
ඔහු විසින් ඒ ස්ථානයේ පිහිටා තිබූ, 1890 දශකයට අයත් වල්වැදී තිබූ පැරණි සුවිශේෂී සොහොනක් ගැන කරුණු දැන හැඳින, එම කතාව මාධ්‍යයන් වෙත හෙළි කරන අවස්ථාවේ මෙම කෝවිල ගැනද විස්තර මා වෙත කීවේය. ඔහිය ඉදල්ගස්හින්න අතර මාර්ග කොටසේ අංක 24 බිංගෙයත් අංක 25 බිංගෙයත් අතර අංක 24 බිංගෙයට ආසන්නව දකුණු පැත්තේ උස් ෆයිනස් වනාන්නතර බිමක දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි මෙම කෝවිල කෙතරම් ඉපැරණිදැයි කීමට සාක්ෂය නැතත්, පවතින විශ්වාසයන් අනුව එම කෝවිල දුම්රිය මාර්ගය තරම්ම පැරණියැයි කිව හැකිය.
දුම්රිය සේවකයින් විසින් පුදපූජා පවත්වන්නට හුරු වුණු ආගමික ස්ථාන, කුඩා සුරුවම්, දේවරූප ගණනාවක් දුම්රිය මාර්ග චාරිකා වලදී දැකගන්නට ලැබී ඇති අතර ඒ්වායෙන් බොහොමයක් පසුකාළීනව සාමාන්‍ය ජනතාවගේ පුදපූජා පවත්වන හෝ ඇදහිළි ස්ථාන බවට දියුණුවට පත්ව තිබේ. මරදානේ අතීත දකුණු සංඥා කුළුණ පිහිටි ස්ථානයේ ගොඩනැඟී පසුකාළීනව ජනාකීර්ණ වූ සුප්‍රකට ශ්‍රී කෛලේශ්වරම් කෝවිල ද හින්දු සම්භවයක් සහිත දුම්රිය සේවකයින්ගේ මැදිහත්වීමෙන් ගොඩනැඟී සංවර්ධනය වූයේයැයි විශ්වාස කරන දුම්රිය මාර්ග සංස්කෘතිය සමඟ බැඳුණු පූජනීය ස්ථානයකි.
නානුඔයට ආසන්නව දුම්රිය මඟෙහි තේ වත්තක පිහිටි කතෝලික සුරුවමද, අංක 18 බිංගෙය ආසන්නයේ ඇති බුදුමැදුර සහ කතරගම දේවාලයද, ඉදල්ගස්හින්නට ආසන්නව දුම්රිය මාර්ගය ආසන්නයේ අලුතෙන් ගොඩනඟා ඇති කුඩා චෛත්‍යයද, අංක 14 බිංගෙය ආසන්නයේ සහ නාවලපිටිය සේලම් පාලම අසළ කුඩා කුඩා කෝවිලද මෙළෙස වරින් වර සමයයන් වල දුම්රිය මාර්ගය ආශ්‍රිතව දුම්රිය මාර්ග සේවකයින් විසින් ගොඩනැඟූ පුදපූජා ස්ථානයන්ය. තවත් මෙවැනි චූල පූජනීය ස්ථාන දුම්රිය මාර්ග කම්කරුවන්ගේ වුවමනාව මත ගොඩනැඟී පවත්වාගෙන යනවා වන්නට පුළුවන.
මෙවැනි චූල සම්ප්‍රදායයන්, මහා සම්ප්‍රදායයන් බවට පත්කිරීමට කිසිදු විටෙක උත්සාහ නොකළ යුතු අතර මෙම ලිපියෙන් උත්සහ දරණුයේ එවැනි සම්ප්‍රදායයන් බිහිවීමට අදාළ කාරණා සහ ඒවායේ පවතින වර්තමාන සහ අතීත සම්ප්‍රදායයන් ගැන අවබෝධයක් ලබාදීමට උත්සහ ගැනීමක් පමණි. මේ ආකාරයේ ඇදහිලි සහ විශ්වාස ලංකාවට පමණක් උරුම වූ ඒවා නොවන අතර, යාබද ඉන්දියාවේද, වෙනත් පෙරදිග සහ අපරදිග රටවලද ඔවුනගේ රටට සහ ආගමට අදාළව මෙවැනි "සංහිඳ" ඉදිව තිබෙන ආකාරය හඳුනාගත හැකිය.
ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගය වන උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මඟියෙකුට දැනෙන සුන්දරත්වය දුම්රිය මාර්ගයේ සේවය කරන මාර්ග අංශයේ සේවකයෙකුට විඳින්නට ඉස්පාසුවක් ඇත්තේ නැත. මඟියෙකුට පවා කඳුකර දුම්රිය මඟේ දැනෙන සුන්දරත්වය පරයා ගුප්ත, හුදකළා හැඟීම් මතුවන දුම්රිය මාර්ග කොටස ඇරඹෙන්නේ පට්ටිපොළ පසුකොට බදුල්ල දෙසට පල්ලම් බසින්නට පටන්ගන්නා තැන සිටය. එම ගුප්ත මාර්ග කොටස අවසන් වන්නේ හපුතලේ දුම්රියපොළට මදක් මෙපිටින් පිහිටි GLANORRE වතු වේදිකාව අසළිනි. ස්ථාන දෙක තුනකදී හැරෙන්නට මිනිස් පහසින් බෙහෙවින්ම ඈත්ව පිහිටි මේ දුම්රිය මාර්ග කොටසේ දුර දළ වශයෙන් කිලෝමීටර් 20ක් පමණ වේ. ඒ අතරින් ද, වඩාත්ම ගුප්ත, හුදකළා සහ අනතුරුදායකම දුම්රිය මාර්ග කොටස ලෙස සැළකිය හැක්කේ ඔහිය දුම්රිය පොළේ සිට ඉදල්ගස්හින්න දක්වා වන කිලෝමීටර් 14ක දුම්රිය මාර්ග කොටසයි. ගල්බොඩ සිට වටවල දක්වා මාර්ග කොටසද ඉහතින් දැක්වූ මාර්ග කොටසට වඩා අඩු අවදානමක්, ගුප්ත බවක් සහ අනාරක්ෂිත හැඟීමක් ඇති කරන දුම්රිය මාර්ග කොටසක් ලෙස හැඳින්විය හැකිය.
1880 දශකයේ මෙම කලාපයේ දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ වූ සමයේ සිට 1980 දශකය පසුවන තුරුම මෙම මාර්ග කොටසේ බහුලව සේවය කළෝ ඉන්දියානු සම්භවයක් සහිත දමිළ සේවකයින් සහ ඔවුනගේ දරු පරම්පරාවන්ය. පසුකාළීනව සිදුවූ විවෘත බඳවාගැනීම් සමඟ දැනට මාර්ග අංශයේ රාජකාරී වල සිංහල සේවකයින් බහුල වුවද, තවමත් වතු දෙමළ සම්භවයක් සහ දකුණු ඉන්දියානු අක්මුල් සහිත යැයි පැහැදිළිව හඳුනාගත හැකි දෙමළ - සිංහල මිශ්‍ර සේවකයින්ද මෙම මාර්ග කොට්ඨාශ වලදී නිරන්තරව හමුවේ. ඒ් නිසා බෞද්ධ ඇදහිළි වලට වඩා ප්‍රබලව හින්දු ඇදහිලි කෙරෙහි යොමුවීමේ සංස්කෘතියක් මේ කළාපයේදී හඳුනාගත හැකිය.
ගතවූ වසර සියයකට අධික කාලයේදී දුම්රියට සහ දුම්රිය හා බැඳුණු අනතුරුවලට අමතරව, මෙම කළාපයේ දුම්රිය මාර්ග කම්කරුවන්ගේ ජීවිත බිළිගත් සෙසු සාධකයන් ගණනාවකි. නිරන්තරව උකුසු ප්‍රහාරයට ලක්වන දෙබර කූඩු, බමර කූඩු බහුලව පිහිටි මෙම කළාපයේ පෙට්රල්මන් රාජකාරියේ, ප්ලේට්ස්මන් රාජකාරියේ, සාවිකරු රාජකාරියේ යෙදෙමින් හුදකළාව ඇවිද යන මාර්ග සේවකයින්ට වසරකදී දෙතුන් වරක්වත් දෙබරුන් සහ බමරුන් මාරාන්තික අත්දැකීම් අත්කර දී තිබේ. සීතළත් තෙතත් මුසුවූ තණකොළ යහමින් වැවෙන, දුම්රිය මාර්ගයේ සිල්පර අතර බිම කුණකටුවන්ගේ පාරාදීසයකි. කොටි පෙට්රල් ලෙසින් හඳුන්වන රාත්‍රී මාර්ග පරීක්ෂණ රාජකාරිය සම්පූර්ණ කළ යුත්තේ දිවියන්ගේ ගොදුරු බවට පත්වීමේ අවධානම දරාගනිමිනි. රංචු වශයෙන් සැරිසරන වල් ඌරන්ද රාත්‍රි රාජකාරියේදී පට්ටිපොළත්, ඔහියත්, ඉදල්ගස්හින්නත් අතර ඇවිද යන දුම්රිය මාර්ග සේවකයින්ගේ ජීවිත අනතුරට ලක්කරන සෙසු සාධකයන්ය. ඉහත අනතුරු වලට අමතරව හදිසි හෘදයාබාධයක්/ ශීතල නිසා හට ගන්නා ආඝාතයක් නොවැළඳුනේ නම් රාජකාරිය අවසානයේ ආසන්නතම දුම්රිය පොළට ළඟාවනතුරු මිනිස් පුළුටක් හමු නොවන මහ වනයේ දුම්රිය මාර්ග අංශයේ ඉහත දැක්වූ සේවකයින්ට සිය ජීවිත භාරදෙන්නට සිදුව ඇත්තේ තමන් අදහන දෙවියන්ට හෝ ආගමික ශාස්තෘ වරයාට පමණි.
මේ මහ වනයේ දුම්රිය පාරක් අද්දර කෝවිලක්/ ඇදහිලි ස්ථානයන් ඉදිවූයේ ඇයිදැයි කිසිවෙකු අසන්නේ නම් ඒ වෙනුවෙන් දිය හැකි හොඳම පිළිතුර ඉහත ඡේදයේ ඇතුළත්ව ඇත. උඩරට දුම්රිය මාර්ගය නොවෙනස්ව තව සියවසක් ක්‍රියාත්මක වන්නේ නම් එම සියවසක කාලයටම මේ කළාපය සම්බන්ධයෙන් පවතින තත්වය පොදු අත්දැකීමක් වනු ඇත්තේ තංගමලේ අභය භූමියේත්, හෝටර්න් තැන්නේත් සීමා මායිම් තවදුරටත් එළෙසම රැකෙන්නේ නම් පමණි. එම සීමාවන් පටුවූ දිනෙක මෙම දුම්රිය මාර්ගය දෙපස වගාබිම් නිර්මාණය වී සෙසු ප්‍රදේශවල මෙන්ම කෘෂිකාර්මික හෝ ජනාකීර්ණ කලාපයක් හෝ බිහිවනු ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල දුම්රිය මාර්ග රාජකාරියේ නියුතු සේවකයින් සිය රාජකාරියේ පවතින දුෂ්කර භාවයන් නිසාම, ඔවුන්ටම ආවේණික වූ උප සංස්කාතියක් නිර්මාණය කර පවත්වාගෙන යන ආකාරයක් හඳුනාගත හැකිය. ඔවුනගේ කණ්ඩායම් හැඟීම, එකමුතු බව රාජකාරියේදීත් ඉන් පිටතදීත් ශක්තිමත්ව පවතිනු හඳුනාගත හැක්කේ ඔවුනගේ රැකියාවේ පවතින අභියෝගයන් ජයගැනීමට එය අත්‍යාවශ්‍යම කාරණයක් විම නිසා වන්නට ඇත. ඒනිසාම දුෂ්කර ම කළාපයක මාර්ග නඩත්තු කටයුතු වල යෙදෙන දුම්රිය මාර්ග සේවකයින් සිය රාජකාරියේ අභියෝග ජයගැනීමට ඔවුනටම සුවිශේෂ ඇදහිළි සහ විශ්වාස වලට යොමුවූ ආකාරයක්ද හඳුනාගත හැකිය. මෙම කෝවිලද නිර්මාණය වී ඇත්තේ එවැනි ඇදහිළි සහ විශ්වාසයන් මතය.
සිය කොට්ඨාශවල සේවකයින් බහුතරයකගේ මැදිහත් වීම් මත ඒවුන් විසින් පවත්වන පුදපූජාවන් වෙනස් වේ. බෞද්ධයින් බහුලව වෙසෙන පැති වලදී පිරිත් පිංකම්ද, රජරට සහ වන්නි කළාපයන්හිදී කිරි ඉතිරවීම් ද, හින්දු සහ කතෝළික සේවකයින් බහුල ප්‍රදේශ වල දේව පූජාවන් ද වරින් වර සංවිධානය වීම් හඳුනාගත හැකි අතර ඔහිය සහ ඉදල්ගස්හින්න අතර පිහිටි මෙම සුවිශේෂි කෝවිලේද වාර්ෂික ආශිර්වාද දේව පූජාවක් සංවිධානය වේ.
වසර ගණනාවක අතීතයේ සිට සෑම ජනවාරි මසකම මුල් දෙසතියේ දිනයක පවත්වාගෙන එනු ලබන මෙම විශේෂ පූජාව සෙසු දුම්රිය මාර්ග අංශ සේවකයින් පවත්වන පුද පූජා වලට සාපේක්ෂව වඩාත් සංවිධානාත්මක ස්වරුපයක් ගන්නා අතර එය දැන් ඔහිය කළාපයේ මාර්ග අංශ සේවකයින්ගේ ස්ථිර වාර්ෂික තේවාවක් බවට පත්ව තිබේ. මෙය දැක බලාගැනීමේ වුවමනාවක් පැවැතියද, මෙම උත්සවය සංවිධානය කරන මාර්ග සේවකයින් සමඟ එම පූජාව පැවැත්වෙන දිනය කළින් දැනගැනීමේ හැකියාව ඔහිය ආශ්‍රිතව පවතින දුර්වල ජංගම දුරකථන සංඥාවන් වල බාධාවන් නිසා වසරින් වසරම කල්ගිය අතර, අඛණ්ඩව තෙවසරක්ම උත්සහ දරා අවසානයේ එය සාර්ථක වූයේ 2022 මෙම වසරේදීය.
වාර්ෂිකව පැවැත්වෙන "දුම්රිය මාර්ග කම්කරුවන්"ට දේවාශිර්වාදය ලබාදෙන, මාර්ග අංශයේ කම්කරුවන්ගේ කොඩි සහ උපාංග ආශිර්වාදයට ලක්කෙරෙන, ඩක්කු ආසිරි ගන්වන මෙම විශේෂ පූජාව සංවිධානය වන ආකාරය, එය පැවැත්වෙන ආකාරය සහ එහි ඉතිහාස කතාව ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ
ඡායාරූප සපයා දුන් සියළු දෙනාට ස්තූතියි!
අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.
අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.