Wednesday 25 October 2017

ඇලෙක්සැන්ඩර්ගේ මාළු කෝච්චිය අදෝරිස්ට පෙනි පෙනී පෙරළී යයි....

1964 දී මාළු කෝච්චිය විල්වත්තේ පෙරළුණු හැටි.....


1964 ඔක්තෝබර් මස 16දා සිකුරාදාවකි. සතියේ දින “බෝට්ටු දින“ සහ  “බෝට්ටු නොඑන දින“ ලෙස වෙන්කරගෙන සිටි තලේමන්නාරමේ වැසියන්ට අනුව එදින “බෝට්ටු නොඑන දින“යකි. එනිසාම ඒ සවස් වරුව තලේමන්නාරමට සන්සුන් සන්ධ්‍යාවක්විය. බෝට්ටු දින යනු  තලේමන්නාරම සහ ඉන්දියවේ රාමේෂ්වරම අතර සිදුවූ මඟී බෝට්ටු සේවා ක්‍රියාත්මක වූ දිනයන්ය. මෙරට පදිංචිව සිටි වතු කම්කරුවන් සහ ඉන්දියාව සහ ලංකාව අතර ව්‍යාපාරික කටයුතු සඳහා වන මඟී අවශ්‍යතා එකළ සපිරුණේ මෙම බෝට්ටු සේවා මඟිනි. සන්සුන් තලේමන්නාරමේ දුම්රිය පොළ අසළ පමණක් යම් කලබලකාරීත්වයක් තිබුණේ නම් ඒ රාත්‍රියේ කොළඹ බලා යන අංක 400 හෙවත් “ තලේමන්නාරම එක්ස්ප්‍රස්“ නම් රාත්‍රී තැපැල්‍, මඟී සහ භාණ්ඩ දුම්රිය වෙනුවෙන් වූ සූදානමිනි. 

අංක 572 දරණ කැනඩාවේ නිෂ්පාදිත "British Colombia"  යනුවෙන් නම් කළ දුම්රිය එන්ජිම පෙරටු කරගත් රාත්‍රී දුම්රියේ මැදිරි නවයක් අමුණා තිබිණි. එකළ ධාවනය වූ මැදිරි බොහොමයක් ලී පටි ගසා සැකසූ සැහැල්ලු මැදිරි වූ අතර ඒවායෙන් මගී මැදිරි 7234, 6739, 6584, 7774, 6613ලෙසද  භෝජන මැදිරිය 7904 ලෙසද , රාත්‍රී නිදන මැදිරි 6998ලෙසද , පාර්සල්/නියාමක මැදිරි 7351, 7470 ලෙසද අංකනය කර තිබිණි. පේසාලේ දුම්රිය පොළට රාත්‍රී 9.20ට ළඟාවූ මෙම දුම්රියට අංක  9107දරණ මාලු මැදිරි යද ඇමිණූ අතර මැදවච්චියේදී එක් මඟී මැදිරියක් ගලවා ඉවත් කළේ කොළඹ සිට පැමිණෙන යාපනය රාත්‍රී දුම්රියට පසුව ඇමිණීම සඳහාය. තීරණාත්මක දවසක ඇරඹුම සනිටුහන්වූ ඔක්තෝබර් 17දා පෙරවරු 1.00ට පමණ මැදවච්චියෙන් පිටත්වූ දුම්රියේ සිටි මඟීහු තමන් ඓතිහාසික ගමනක සාමාජිකයින් වන බව නොදැන සුව නින්දක ගිලෙමින් නොගිලෙමින් පසුවුහ. 


අළුයම 2.10ට අනුරාධපුරයට පැමිණි දුම්රිය මද ඉසිඹුවක් ගත්තේ රියදුරු ඇතුළු සේවක කණ්ඩායමේ මාරුවකටය. රියදුරු ලෙස  ඊ.එච්.ඇලෙක්සැන්ඩර් මහතාද, සහායක ලෙස එච්.එම්.චන්ද්‍රසේකර මහතාද,  නියාමක ලෙස එස්.ඒ.ඩි.පෙරේරා මහතාද,  සේවය භාරගෙන ඇත. කිසියම් අනපේක්ෂිත හේතුවක් නිසා පෙර දින අඛණ්ඩව අනුරාධපුර යාපනය අතර ඉහළ පහළ යාමට පැය ගණනක් සේවය කළ රියදුරු වරයාට නිසි විවේක කාළය සම්පූර්ණ නොකර අළුයම තවත් දුම්රියක සේවය කරන්නට සිදුවීම කණගාටුදායක සිද්ධියක ඇරඹුම වන බව කිසිවෙකු නොසිතන්නට ඇත. කෙසේ හෝ අළුයම 3.47 මහව සන්ධියට ලගාවූ දුම්රිය වෙත තව ගැල් මැදිරි 14ක් එක් කරන ලදී. මෙම මැදිරි බොහොමයක් මඩකලපුව සහ ත්‍රිකුණාමලය සිට  කොලඹ ප්‍රධාන ගැල් මැදිරි අංගනය වෙත ප්‍රවාහනය කිරීම සදහා මෙම දුම්රියට අමුණා ඇත. ඒවායෙන් එකක් 1906  දරණ රේල් පීලි ප්‍රවාහන මැදිරියක් වූ  අතර අනෙක් සියල්ල සහල් පැටවූ ඒවා විය. සහල් මලු 180 ක් බැඟින් එක් මැදිරියක පැටවූ  3539, 3426, 4372, 4112, 4818, 4188, 4244, 5980 අංක සහිත බ්‍රිතාන්‍ය ගැල් අටක්ද,  සහල් මලු 85ක් බැඟින්  එක් මැදිරියක පැටවූ 9177, 9382, 9335, 9139, 9418, 9443 අංක දරණ චීන මැදිරි හයක්ද සහිතව අළුයම 04,07ට මහව මංසන්ධියෙන් කුරුණෑගල දෙසට ගමන් ඇරඹූ දුම්රිය තරමක පමාවකින් පසු පොල්ගහවෙල දක්වා මන්දගාමී ලෙස පැමිණි අතර,  ඉන් අනතුරුව ද්විත්ව මාර්ගයේ නිදහස්ව ගමන් කිරීමේ වරමින් ඒ ප්‍රමාදය මඟහරින්නට සිතමින් පෙරවරු 5.58ට පොල්ගහවෙලින් ගමන අරඹා ඇත.


ඒ මොහොතේ පස්යාලේ සිට ගිරිඋල්ලට විහිදුනු මාර්ගයේ හමුවන විල්වත්ත දුම්රිය හරස් මඟේ උදෑසන රාජකාරිය භාරගන්නට පැමිණියේ ඒ. එම්. අදෝරිස් මහතාය. අත්දැකීමෙන්ම දන්නා පරිදි කොළඹ  සිට පොල්ගහවෙලට යන මන්දගාමී මඟී දුම්රියත්, තලේමන්නාරමේ සිට එන මාළු කෝච්චියත් (අංක 400 දුම්රිය සාමාන්‍ය ජනයා අතර ප්‍රසිද්ධව තිබුණේ  එනමිනි. ඒ කොළඹට මාළු ප්‍රවාහනය නිරන්තරව සිදු කෙරුණේ එම දුම්රියෙන් නිසාය.) වෙනුවෙන් ගේට්ටු වසා සංඥා ක්‍රියාත්මක කිරීමට ඇති බැවින් තම කුටියේ ඇති දුරකථනයෙන් මීරිගමට අමතා එම දුම්රියයන් වල පැමිණීම තහවුරු කරගත්තේය. පළමුව එම ස්ථානය පසුකර ගියේ කෙළඹ සිට පැමිණි දුම්රියයි... ගේට්ටුව වසා කොළ පැහැ කොඩියත් රැගෙන දුම්රියට මාර්ගය සූදානම් බවට දැක්වීමට ගිය ඔහු යළි ගේට්ටුව විවර නොකර බලා සිටියේ සීග්‍රඝාමී දුම්රිය විල්වත්ත වංගුවෙන් මතුවන තුරුය. ඒ එයට ද මාර්ගය සූදානම් බවට සංඥා කිරිමටය. කාර්යබහුල මාර්ගයක් නොවූ විල්වත්තේ හරස් පාර මිනිත්තු කිහිපයක් වසා තැබීම එකළ ගැටළුවක් නොවන්නට ඇත. ඒ අතර තුර එදිනෙදා දෛනික කටයුතුවලට යන විල්වත්තේ ගැමියන් ඔහුගේ නෙතට හසුවිය. ආප්ප වට්ටියක් උකුළට ගත් තරුණියක් විල්වත්ත කඩපොළට යනයුරුත්, උදළු ගත් ගොවීන් යාබද කුඹුරට බසිනුත් ඔහු දකින්නට ඇත.

පොල්ගහවෙලින් පසු ඊ.එච්.ඇලෙක්සැන්ඩර් රියදුරු මහතා ප්‍රමාදය වළක්වගැනිමේ වුවමනාවෙන් දුම්රියේ වේගය මදක් වැඩි කළ අතර එය පෙරවරු 6.07ට අලව්වත්, 6.16ට අඹේපුස්සත් පසු කළේය. 572 එන්ජිමේ වේග මාපක ක්‍රියාත්මක නොවූ බැවින් එහි වේගය අත්දැකීමෙන් අවබෝධ කරගත යුතු වූවද, අධික වෙහෙස නිසා හෝ නොසැළකිල්ල නිසා පැයට සැතැපුම් 35ක වේග සීමා ඉක්මවා පැයට සැතැපුම් 48ක පමණ වේගයකින් දුම්රිය ධාවනය වන බව රියදුරා අවබෝධ කොට ගෙන සිටියේ නැත. 

විල්වත්ත වංගුවට 6.20ට ළඟාවූ දුම්රියේ බඩු මැදිරි වලට එතරම් වේගයකින් එම වංගුව පසුකිරීම අපහසු වන්නේ ඒවා බෝගි රහිත සරල රෝද හතරේ මැදිරි වූ නිසාය. ඒ නිසා අධික වේගයෙන් පැමිණි දුම්රියේ මාළු පැටවූ අංක 9107 මැදිරිය විල්වත්ත වංගුවේදී (වත්මන් විල්වත්ත දුම්රිය ස්ථානය අසළදී ) පීලි පනින අතර අවධානම අවබෝධකරගත් රියදුරාද පිලි පැනීම නොදැන හදිසියේ තිරිංග සඳහා යොමු වු බවට පරීක්ෂණ වලදී පසුව අණාවරණය විය. 

අදෝරිස් ගේ බලාපොරොත්තුව සඵල කරමින් මාළු කෝච්චිය වංගුවෙන් මතුවුවද, ඔහුට දකින්නට ලැබෙන්නේ යළි කිසිදාක දකින්නට නොලැබෙන අවාසනාවන්ත ඉරණමකට එම දුම්රිය මුහුණ දෙන ආකරයය. එනම්  එන්ජිම සහ මැදිරි 03ක් නිරුපද්‍රිතව ඉදිරියට එද්දි එයට පිටුපසින් වූ මැදිරි මහා හඬක් නගමින් එක පිට එක පෙරළෙමින් මාර්ගයේ වම්පස වූ කුඩා වගුරටත් , ඉහළ දුම්රිය මාර්ගයටත් විසිවී යන ආකාරයය. තවත් මොහොතකින් සුව නින්දේ ආ මඟීන්ගේ මාරාන්තික ඉකිබිඳුමෙන් නිසළ විල්වත්ත සසළ වී යනු ඇසිණි. ඒ හඬ කොතෙක් දුරට ඇසුණිද යත් ඒ මොහොතේ තවලම්පිටියේ ළැඟුම් ගෙන සිටි බාලදක්ෂ සිසුන් පිරිසක්ද  ඒ හඬින් සසළව වහ වහා හඬ ඇසුණු දෙසට පැමිණියහ. 


එතෙක් මෙරට සිදුවූ දුම්රිය අනතුරු වලින් දෙවන ප්‍රබල අනතුර වූ මේ අනතුරෙන් එම ස්ථානයේදීම මිය ගිය ගණන විසිපහකට ආසන්න වූ අතර පසුව සිදුවූ මරණ සමඟ සම්පූර්ණ මරණ සංඛ්‍යාව හතළිහක් පමණ වේ. තුවාලකරුවන් සියයකට ආසන්න පිරිසක් විල්වත්ත සහ වතුපිටිවල රෝහල් කරා ඇතුළු කළහ. මේ පිළිබඳ පශ්චාත් පරීක්ෂණ ගණනාවක් සිදුවූ අතර ඒ පිළිබඳ තොරතුරුත් අදටත් විල්වත්තේ ජීවත්වන ඇසින් දුටු පුද්ගලයින්ගේ විස්තර කිරීම් සහිත මෙම ලිපියේ ඉතිරි කොටස මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

දයා ලේල්වල සහ අකිල ආරියප්පෙරුම මහතාගේ ලිපි කිහිපයකින්ද තොරතුරු සපයා ගැණුනි.


සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ


අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

No comments:

Post a Comment