Saturday 26 February 2022

හුදකළා දුම්රිය මඟේ ඉදිවුණු පුදබිමක වගතුග

 

උඩරට මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර පිහිටි කෝවිලේ කතාව

කඳුකර මාර්ගයේ බොහෝ දුම්රිය ගමන් වල යෙදී තිබුණද, මේ සුවිශේෂී පාරිසරික කලාපයේදී  එක් බිංගෙයකින් ඊළඟ බිංගෙයට පිවිසෙන හැටි දැකගන්නට වුවමනාවෙන් පමණක් යන බොහෝ අතීත දුම්රිය ගමන් වලදී එම කෝවිල දැකගන්නට මගේ දෑස් පිං කර තිබුණේ නැත. මේ කෝවිල ගැන මට මුලින්ම විස්තර කීවේ 2014-2016 කාලසීමාවේ ඔහිය දුම්රිය මාර්ග කොට්ඨාශයේ අධික්ෂණ කළමනාකරු ලෙස කටයුතු කළ ඇන්ටන් විරෝෂාන් වික්‍රමරත්න මහතාය. ඔහු දැනට ප්‍රධාන මාර්ගයේ මධ්‍යම කොට්ඨාශයේ ප්‍රධාන දුම්රිය මාර්ග අධීක්ෂණ කළමණාකරු ලෙස කටයුතු කරයි. 

ඔහු විසින් ඒ ස්ථානයේ පිහිටා තිබූ, 1890 දශකයට අයත් වල්වැදී තිබූ පැරණි සුවිශේෂී සොහොනක් ගැන කරුණු දැන හැඳින, එම කතාව මාධ්‍යයන් වෙත හෙළි කරන අවස්ථාවේ මෙම කෝවිල ගැනද විස්තර මා වෙත කීවේය. ඔහිය ඉදල්ගස්හින්න අතර මාර්ග කොටසේ  අංක 24 බිංගෙයත් අංක 25 බිංගෙයත් අතර අංක 24 බිංගෙයට ආසන්නව දකුණු පැත්තේ උස් ෆයිනස් වනාන්නතර බිමක දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි මෙම කෝවිල කෙතරම් ඉපැරණිදැයි කීමට සාක්ෂය නැතත්, පවතින විශ්වාසයන් අනුව එම කෝවිල දුම්රිය මාර්ගය තරම්ම පැරණියැයි කිව හැකිය. 

Ohiya Kovil


දුම්රිය සේවකයින් විසින් පුදපූජා පවත්වන්නට හුරු වුණු ආගමික ස්ථාන, කුඩා සුරුවම්,  දේවරූප ගණනාවක් දුම්රිය මාර්ග චාරිකා වලදී දැකගන්නට ලැබී ඇති අතර ඒ්වායෙන් බොහොමයක් පසුකාළීනව  සාමාන්‍ය ජනතාවගේ පුදපූජා පවත්වන හෝ ඇදහිළි ස්ථාන බවට දියුණුවට පත්ව තිබේ. මරදානේ අතීත දකුණු සංඥා කුළුණ පිහිටි ස්ථානයේ ගොඩනැඟී  පසුකාළීනව ජනාකීර්ණ වූ සුප්‍රකට ශ්‍රී කෛලේශ්වරම් කෝවිල ද හින්දු සම්භවයක් සහිත දුම්රිය සේවකයින්ගේ මැදිහත්වීමෙන් ගොඩනැඟී සංවර්ධනය වූයේයැයි විශ්වාස කරන දුම්රිය මාර්ග සංස්කෘතිය සමඟ බැඳුණු පූජනීය ස්ථානයකි. 

Sri Kaileshwaram Kovil Maradana



නානුඔයට ආසන්නව දුම්රිය මඟෙහි තේ වත්තක පිහිටි කතෝලික සුරුවමද,  අංක 18 බිංගෙය ආසන්නයේ ඇති බුදුමැදුර සහ කතරගම දේවාලයද, ඉදල්ගස්හින්නට ආසන්නව දුම්රිය මාර්ගය ආසන්නයේ අලුතෙන් ගොඩනඟා ඇති කුඩා චෛත්‍යයද, අංක 14 බිංගෙය ආසන්නයේ සහ නාවලපිටිය සේලම් පාලම අසළ කුඩා කුඩා කෝවිලද මෙළෙස වරින් වර සමයයන් වල දුම්රිය මාර්ගය ආශ්‍රිතව දුම්රිය මාර්ග සේවකයින් විසින් ගොඩනැඟූ  පුදපූජා ස්ථානයන්ය. තවත් මෙවැනි චූල පූජනීය ස්ථාන දුම්රිය මාර්ග කම්කරුවන්ගේ වුවමනාව මත ගොඩනැඟී පවත්වාගෙන යනවා වන්නට පුළුවන. 

Small Buddhist Pagoda - Between Ohiya Idalgashinna

Small Kovil Near Hatton

Altar Near NanuOya



මෙවැනි චූල සම්ප්‍රදායයන්, මහා සම්ප්‍රදායයන් බවට පත්කිරීමට කිසිදු විටෙක උත්සාහ නොකළ යුතු අතර මෙම ලිපියෙන් උත්සහ දරණුයේ එවැනි සම්ප්‍රදායයන් බිහිවීමට අදාළ කාරණා සහ ඒවායේ පවතින වර්තමාන සහ අතීත සම්ප්‍රදායයන් ගැන අවබෝධයක් ලබාදීමට උත්සහ ගැනීමක් පමණි. මේ ආකාරයේ ඇදහිලි සහ විශ්වාස ලංකාවට පමණක් උරුම වූ ඒවා නොවන අතර, යාබද ඉන්දියාවේද, වෙනත් පෙරදිග සහ අපරදිග රටවලද ඔවුනගේ රටට සහ ආගමට අදාළව මෙවැනි "සංහිඳ" ඉදිව තිබෙන ආකාරය හඳුනාගත හැකිය.

Old tunnel and altar on the railwat near Diakopto, Greece

ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගය වන උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මඟියෙකුට දැනෙන සුන්දරත්වය දුම්රිය මාර්ගයේ සේවය කරන මාර්ග අංශයේ සේවකයෙකුට විඳින්නට ඉස්පාසුවක් ඇත්තේ නැත. මඟියෙකුට පවා කඳුකර දුම්රිය මඟේ දැනෙන සුන්දරත්වය පරයා ගුප්ත, හුදකළා හැඟීම් මතුවන දුම්රිය මාර්ග කොටස ඇරඹෙන්නේ පට්ටිපොළ පසුකොට බදුල්ල දෙසට පල්ලම් බසින්නට පටන්ගන්නා තැන සිටය. එම ගුප්ත මාර්ග කොටස අවසන් වන්නේ හපුතලේ දුම්රියපොළට මදක් මෙපිටින් පිහිටි GLANORRE වතු වේදිකාව අසළිනි. ස්ථාන දෙක තුනකදී හැරෙන්නට මිනිස් පහසින් බෙහෙවින්ම ඈත්ව පිහිටි මේ දුම්රිය මාර්ග කොටසේ දුර දළ වශයෙන් කිලෝමීටර් 20ක් පමණ වේ.  ඒ අතරින් ද, වඩාත්ම ගුප්ත, හුදකළා සහ අනතුරුදායකම දුම්රිය මාර්ග කොටස ලෙස සැළකිය හැක්කේ ඔහිය දුම්රිය පොළේ සිට ඉදල්ගස්හින්න දක්වා වන කිලෝමීටර් 14ක දුම්රිය මාර්ග කොටසයි. ගල්බොඩ සිට වටවල දක්වා මාර්ග කොටසද ඉහතින් දැක්වූ මාර්ග කොටසට වඩා අඩු අවදානමක්, ගුප්ත බවක් සහ අනාරක්ෂිත හැඟීමක් ඇති කරන දුම්රිය මාර්ග කොටසක් ලෙස හැඳින්විය හැකිය. 



1880 දශකයේ මෙම කලාපයේ දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ වූ සමයේ සිට  1980 දශකය පසුවන තුරුම මෙම මාර්ග කොටසේ බහුලව සේවය කළෝ ඉන්දියානු සම්භවයක් සහිත දමිළ සේවකයින් සහ ඔවුනගේ දරු පරම්පරාවන්ය. පසුකාළීනව සිදුවූ විවෘත බඳවාගැනීම් සමඟ දැනට මාර්ග අංශයේ රාජකාරී වල සිංහල සේවකයින් බහුල වුවද, තවමත් වතු දෙමළ සම්භවයක් සහ දකුණු ඉන්දියානු අක්මුල් සහිත යැයි පැහැදිළිව හඳුනාගත හැකි දෙමළ - සිංහල මිශ්‍ර සේවකයින්ද මෙම මාර්ග කොට්ඨාශ වලදී නිරන්තරව හමුවේ. ඒ් නිසා බෞද්ධ ඇදහිළි වලට වඩා ප්‍රබලව හින්දු ඇදහිලි කෙරෙහි යොමුවීමේ සංස්කෘතියක් මේ කළාපයේදී හඳුනාගත හැකිය. 

ගතවූ වසර සියයකට අධික කාලයේදී දුම්රියට සහ දුම්රිය හා බැඳුණු අනතුරුවලට අමතරව, මෙම කළාපයේ  දුම්රිය මාර්ග කම්කරුවන්ගේ ජීවිත බිළිගත් සෙසු සාධකයන් ගණනාවකි. නිරන්තරව උකුසු ප්‍රහාරයට ලක්වන දෙබර කූඩු, බමර කූඩු බහුලව පිහිටි  මෙම කළාපයේ පෙට්රල්මන් රාජකාරියේ, ප්ලේට්ස්මන් රාජකාරියේ, සාවිකරු රාජකාරියේ යෙදෙමින් හුදකළාව ඇවිද යන මාර්ග සේවකයින්ට වසරකදී දෙතුන් වරක්වත් දෙබරුන් සහ බමරුන් මාරාන්තික අත්දැකීම් අත්කර දී තිබේ.  සීතළත් තෙතත් මුසුවූ තණකොළ යහමින් වැවෙන, දුම්රිය මාර්ගයේ සිල්පර අතර බිම කුණකටුවන්ගේ පාරාදීසයකි. කොටි පෙට්රල් ලෙසින් හඳුන්වන රාත්‍රී මාර්ග පරීක්ෂණ රාජකාරිය සම්පූර්ණ කළ යුත්තේ දිවියන්ගේ ගොදුරු බවට පත්වීමේ අවධානම දරාගනිමිනි. රංචු වශයෙන් සැරිසරන වල් ඌරන්ද රාත්‍රි රාජකාරියේදී පට්ටිපොළත්,  ඔහියත්, ඉදල්ගස්හින්නත්  අතර ඇවිද යන දුම්රිය මාර්ග සේවකයින්ගේ ජීවිත අනතුරට ලක්කරන සෙසු සාධකයන්ය. ඉහත අනතුරු වලට අමතරව හදිසි හෘදයාබාධයක්/ ශීතල නිසා හට ගන්නා ආඝාතයක් නොවැළඳුනේ නම් රාජකාරිය අවසානයේ  ආසන්නතම දුම්රිය පොළට ළඟාවනතුරු මිනිස් පුළුටක් හමු නොවන මහ වනයේ දුම්රිය මාර්ග අංශයේ ඉහත දැක්වූ සේවකයින්ට සිය ජීවිත භාරදෙන්නට සිදුව ඇත්තේ තමන් අදහන දෙවියන්ට හෝ ආගමික ශාස්තෘ වරයාට පමණි. 


මේ මහ වනයේ දුම්රිය පාරක් අද්දර කෝවිලක්/ ඇදහිලි ස්ථානයන් ඉදිවූයේ ඇයිදැයි කිසිවෙකු අසන්නේ නම් ‌ඒ වෙනුවෙන් දිය හැකි හොඳම පිළිතුර ඉහත ඡේදයේ ඇතුළත්ව ඇත.  උඩරට දුම්රිය මාර්ගය නොවෙනස්ව තව සියවසක් ක්‍රියාත්මක වන්නේ නම් එම  සියවසක කාලයටම මේ කළාපය සම්බන්ධයෙන් පවතින තත්වය පොදු අත්දැකීමක් වනු ඇත්තේ තංගමලේ අභය භූමියේත්, හෝටර්න් තැන්නේත් සීමා මායිම් තවදුරටත් එළෙසම රැකෙන්නේ නම් පමණි. එම සීමාවන් පටුවූ දිනෙක මෙම දුම්රිය මාර්ගය දෙපස වගාබිම් නිර්මාණය වී සෙසු ප්‍රදේශවල මෙන්ම කෘෂිකාර්මික හෝ ජනාකීර්ණ කලාපයක් හෝ බිහිවනු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල දුම්රිය මාර්ග රාජකාරියේ නියුතු සේවකයින් සිය රාජකාරියේ පවතින දුෂ්කර භාවයන් නිසාම, ඔවුන්ටම ආවේණික වූ උප සංස්කාතියක් නිර්මාණය කර පවත්වාගෙන යන ආකාරයක් හඳුනාගත හැකිය. ඔවුනගේ කණ්ඩායම් හැඟීම, එකමුතු බව රාජකාරියේදීත් ඉන් පිටතදීත් ශක්තිමත්ව පවතිනු හඳුනාගත හැක්කේ ඔවුනගේ රැකියාවේ පවතින අභියෝගයන් ජයගැනීමට එය අත්‍යාවශ්‍යම කාරණයක් විම නිසා වන්නට ඇත. ඒනිසාම දුෂ්කර ම කළාපයක මාර්ග නඩත්තු කටයුතු වල යෙදෙන දුම්රිය මාර්ග සේවකයින් සිය රාජකාරියේ අභියෝග ජයගැනීමට ඔවුනටම සුවිශේෂ ඇදහිළි සහ විශ්වාස වලට යොමුවූ ආකාරයක්ද හඳුනාගත හැකිය. මෙම කෝවිලද නිර්මාණය වී ඇත්තේ එවැනි ඇදහිළි සහ විශ්වාසයන් මතය. 



සිය කොට්ඨාශවල සේවකයින් බහුතරයකගේ මැදිහත් වීම් මත ඒවුන් විසින් පවත්වන පුදපූජාවන් වෙනස් වේ. බෞද්ධයින් බහුලව වෙසෙන පැති වලදී  පිරිත් පිංකම්ද, රජරට සහ වන්නි කළාපයන්හිදී කිරි ඉතිරවීම් ද, හින්දු සහ කතෝළික සේවකයින් බහුල ප්‍රදේශ වල දේව පූජාවන් ද වරින් වර සංවිධානය වීම් හඳුනාගත හැකි අතර ඔහිය සහ ඉදල්ගස්හින්න අතර පිහිටි මෙම සුවිශේෂි කෝවිලේද වාර්ෂික ආශිර්වාද දේව පූජාවක් සංවිධානය වේ. 

වසර ගණනාවක අතීතයේ සිට සෑම ජනවාරි මසකම මුල් දෙසතියේ දිනයක පවත්වාගෙන එනු ලබන මෙම විශේෂ පූජාව සෙසු දුම්රිය මාර්ග අංශ  සේවකයින් පවත්වන පුද පූජා වලට සාපේක්ෂව වඩාත් සංවිධානාත්මක ස්වරුපයක් ගන්නා අතර එය දැන් ඔහිය කළාපයේ මාර්ග අංශ සේවකයින්ගේ ස්ථිර වාර්ෂික තේවාවක් බවට පත්ව තිබේ. මෙය දැක බලාගැනීමේ වුවමනාවක් පැවැතියද, මෙම උත්සවය සංවිධානය කරන මාර්ග සේවකයින් සමඟ එම පූජාව පැවැත්වෙන දිනය කළින් දැනගැනීමේ හැකියාව ඔහිය ආශ්‍රිතව පවතින දුර්වල ජංගම දුරකථන සංඥාවන් වල  බාධාවන් නිසා වසරින් වසරම කල්ගිය අතර, අඛණ්ඩව තෙවසරක්ම උත්සහ දරා අවසානයේ එය සාර්ථක වූයේ 2022 මෙම වසරේදීය.

වාර්ෂිකව පැවැත්වෙන "දුම්රිය මාර්ග කම්කරුවන්"ට දේවාශිර්වාදය ලබාදෙන, මාර්ග අංශයේ කම්කරුවන්ගේ කොඩි සහ උපාංග ආශිර්වාදයට ලක්කෙරෙන, ඩක්කු ආසිරි ගන්වන මෙම විශේෂ පූජාව සංවිධානය වන ආකාරය, එය  පැවැත්වෙන ආකාරය සහ එහි ඉතිහාස කතාව ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. 

සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ


ඡායාරූප සපයා දුන් සියළු දෙනාට ස්තූතියි!

අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

Sunday 26 May 2019

මඩකළපුවෙන් ගෙනා පාර්සලය - වේයන්ගොඩදී පුපුරායයි.

හිජ්රා දුම්රියේ බෝම්බ පිපිරිම


1986 වන විට රටම බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ ගරිල්ලා ප්‍රහාර වලට ලක්වෙමින් තිබිණි. උතුරු නැගෙනහිර හෝ රටේ කොතැනක හෝ දෛනිකව බෝම්බ පිපිරීමක්, වෙඩි ප්‍රහාරයක්, කෘර ප්‍රහාරයක් එල්ල කරන ත්‍රස්තවාදීන් සාමකමි ජන ජීවිතය අඩපන කර ආරක්ෂක අංශ අසීරුවට පත්කරන්නට උත්සහ ගත්හ. පෙර වසරේ සිදුවූ යාල්දේවී දුම්රිය ප්‍රහාරය නිසා දුම්රිය මඟින්ගේ ආරක්ෂාව ගැනද විශේෂ උනන්දුවක් උතුරු නැගෙනහිර පළාත්වලදී පැවතිණි. 
මඩකළපුව දුම්රියපොළ -2018

මෙවන් වාතාවරණයක් යටතේ එළැඹුණු 1986 මැයි 31 වන සෙනසුරාදා දින  පෙරවරුවේ මඩකළපුව දුම්රිය පොළ කාර්යබහුල වූයේ දෛනිකව කොළඹට යන 'හිජ්රා" දුම්රියේ රාජකාරි වෙනුවෙනි. මෙම දුම්රිය උදයදේවී දුම්රිය ලෙසද සමහර සටහන් වල දැක්වෙන නමුදු  ප්‍රධාන නියාමක වරයාගේ හැඳින්වීමේ සටහන්ව ඇත්තේ "හිජ්රා" දුම්රිය ලෙසය.  කාර්යබහුල සාමාන්‍ය මඟීන් අතරින් පැමිණි දෙදෙනෙකු කොළඹ බලා ප්‍රවාහනයට පාර්සලයක් බාරදුන් අතර එය නියාමක මැදිරියට යොමු කිරිමට නිළධාරීහු පියවර ගත්හ. 

නියමිත වේලාවට පිටත්වූ දුම්රියට වෙනදා මඩකළපුවෙන් වේයන්ගොඩ සහ කොළඹ  ගෙනයාමට භාරදෙන කිරිහට්ටි මෙදින නොලැබුණු අතර මඟීන්ගේ සුවිශේෂ අඩුවීමක්ද දක්නට නොලැබිණි. මඩකළපුවේ සිට මහව දක්වා ඩී.එම්. රණසිංහ නැමැති ප්‍රධාන දුම්රිය නියාමක වරයාගේ අධීක්ෂණය යටතේ පැමිණි දුම්රිය මහවෙන් පසු භාර වූයේ දොඩංදූවේ පදිංචි ඒ. දයානන්ද නම් නියාමක වරයාටය. සවස 1.30ට මහවට පැමිණී දුම්රිය යළි සවස 1.45ට මහවෙන් පිටත්වූයේ ඩබ්. සයිමන් පෙරේරා නම් රියදුරු වරයාගේ මෙහෙයවීමෙනි. 

  
                          හානිවූ මැදිරිය අංගනයේදි පරීක්ෂා කරමින්
වෙ නදාට වඩා විනාඩි හතක පමණ ප්‍රමාදයකින් වේයන්ගොඩට පැමිණී දුම්රිය ට වෙනදාට වඩා මඟීන් පිරිසක් ගොඩවී ඇත. එයට හේතු වි ඇත්තේ මෙම දුම්රියට පෙර වේයන්ගොඩට ළඟාවිය යුතු බදුල්ලේ සිට පැමිණෙන "උඩරට මැණිකේ" දුම්රිය එදින ප්‍රමාද වීම හේතුවෙනි. ඒ අනුව එදින සවස 3.52ට වේයන්ගොඩට ළඟාවූ දුම්රිය තවත් විනාඩි එක හමාරක කාලයකින් වේදිකාවෙන් පිටවී තිබේ. නමුත් සාමාන්‍ය තත්වයන් යටතේ මෙම දුම්රිය විනාඩි පහක් පමණ දුම්රිය ස්ථානයේ රැඳෙන නමුත් එදින කිරිට්ටි නොලැබී තිබූ නිසා ඉක්මනින්ම පිටවිමට අවස්ථාව ලැබිණි.

බෝම්බය පිපිරුණූ ස්ථානය සඳහා  7.150650, 80.057200   ගූගල් මැප් වල සොයන්න. 

ලංකාවේ  පසුදින පළවූ සියලු පුවත්පත් වල මෙම බෝම්බ ප්‍රහාරයත් එදිනම සවස කොළඹ "සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්" හෙවත් අලියා බීම සමාගමේ සිදුවූ කාල බෝම්බ පිපිරීමත් වාර්තා කර තිබූ අතර පහත විස්තර කිරීම් උපුටා ගත්තේ 1986 ජූනි 02 සඳුදා පළවූ "රිවිරැස" පුවත්පතිනි. 

ඉන්පසුව සිදුවූ සිද්ධීය පිළිබඳව දුම්රිය රියදුරු සයිමන් පෙරේරා මහතා පොලීසියට විස්තර කර තිබුණෙ මෙසේය. " වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ වේදිකාව පසුකළ බවට ප්‍රධාන නියාමක සංඥාව ලබාදුන් පසු මම දුම්රියේ වේගය වැඩි කළා. එසේ වැඩි කර යාර පණහක් යාමට පෙර මට විශාල ශබ්දයක් ඇසුණා. ඒ සමඟම එන්ජිමේ විදුරුවෙන් ගිනි ජාලාවක් පෙනුණා. මම හිතුවේ එන්ජිමේ ගින්නක් ඇතිවූ බවයි. ඉක්මනටම එන්ජිම නවතා මම බිමට බැස්සා. එසේ බලන විට දුම්රිය දෙකඩ වී මැදිරි පොඩි පට්ටම් වී තිබුණා."


එම සිද්ධිය පිළිබඳව දුම්රියේ ප්‍රධාන නියාමකවරයා ලබාදුන් සාක්ෂියේ සංක්ෂිප්තය මෙසේය. " එදා කිරිහට්ටි නොතිබුනු නිසා දුම්රිය ඉක්මනටම පිටත්වුණා. වේයන්ගොඩ ස්ථානාධිපතිවරයා එදින මෙම දුම්රිය ගම්පහ සහ ගණේමුල්ලේද නවත්වා ධාවනය කරන ලෙස විධානය කළා. දෙවැනි සංඥාව ලබාදෙනවාත්  සමගම විශාල පිපිරුම් හඬක් ඇසුණා. මා විසිවී මැදිරිය තුළම වැටුණා. කළු දුමාරයකින් ප්‍රදේශයම වැසී ගියා. මමත් අමාරුවෙන් නැඟිට ගෙන දුම්රියෙන් එළියට පැන්නා. වහාම දුම්රිය ස්ථානාධිපතිවරයා හරහා පොලිසිය දැනුවත් කර නැවත දුම්රියට එනවිට මියගිය මඟීන් සහ තුවාලකරුවන් පුද්ගලික බස් සහ වෑන් වලින් රැගෙන යනු දුටුවා."

මෙම බෝම්බ පිපිරීමෙන් මඟින් 40 දෙනෙකුට තුවාල වී තිබූ අතර ස්ථානීය මරණ 12ක් වාර්තා වි තිබිණි. දිනකට පසුව තුවාල ලැබූ තවත් මඟියෙකු මියගොස් තිබිණි. මියගිය අය අතර සිටි මඟින් පස්දෙනෙකුගේ අනන්‍යතාවය පසුවදා දහවල් වන විට තහවුරු කරගන්නට හැකියාව ලැබුණු අතර පහළ මාර්ගයේ දුම්රිය ධාවනයද දිනකින් පසුව යථා තත්වයට පත්කෙරිණ. මෙම දුම්රියෙන් එදා කිරිහට්ටි ප්‍රවාහනය සිදුවිණි නම් මෙම බෝම්බය පුපුරා යන්නේ වේයන්ගොඩ දුම්රිය පොලේදීය. එසේ වූවානම් දුම්රිය ස්ථානයටද  හානි වන්නට තිබිණි. 


පසුව ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කළ පරික්ෂණ වලදී තහවුරු වි ඇත්තේ මඩකළපුව දුම්රිය පොළට ලැබුණු බඩු පාර්සලය තුළ අන්තර්ගතව තිබූ කාල බෝම්බයක් පුපුරා ගොස් මෙම සිද්ධිය සිදුවූ බවයි. මෙම අනතුරෙන් රුපියල් ලක්ෂ 60ක අලාභයක් සිදුවූ බවට දුම්රිය දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබිණි. එසේම මෙම සිද්ධියෙන් පසුව  නියාමක මැදිරිය තුළ පාර්සල් ප්‍රවාහනය තහනම් කරමින් නියෝගයක්ද නිකුත්වූ අතර මඩකළපුව දුම්රිය ස්ථානයේ නිළධාරින් පස් දෙනෙකු කොළඹට කැඳවා විශේෂ පරීක්ෂණයක්ද පවත්වා ඇත.

එකළ වෙබ් පුවත් සේවා බිහිව නොතිබූ අතර පසුදින පළවූ ඇමරිකානු The Newyork Times පුවත්පතේද මෙම බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු වාර්තා කොට තිබී ඇත. පසුකාලීනව වෙබ් පුවත් අතරට එක්වූ The Newyork Times ප්‍රවෘත්තිය පහතින් දැක්වේ. 


SRI LANKA TRAIN BLAST KILLS 12

Twelve people were killed and 40 were wounded today by a bomb that exploded on a passenger train in a Colombo suburb, a military spokesman said.
The spokesman said the authorities suspected that Tamil separatist guerrillas were responsible for the blast at Veyangoda, 20 miles northeast of Colombo.
Most of the train's passengers were civilians.
The blast came after two bombings in Sri Lanka on Friday that killed 36 people. The Government has accused the guerrillas of those bombings.
One of the explosions Friday ripped through a food and soft-drink processing plant in central Colombo, killing 10 workers and wounding more than 50.
The blast occurred in a truck bringing empty bottles to the factory half a mile from army headquarters. Security sources said it arrived from Jaffna, the stronghold of the Tamil rebels.
(පැරණි පුවත්පත් ඡායාරූප සපයාගැනීම - ජාතික පුස්තකාලයේ සංරක්ෂිත පුවත්පත් වාර්තා වලිනි.)

සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ


ඡායාරූප සපයා දුන් සියළු දෙනාට ස්තූතියි!

අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

Thursday 28 February 2019

අබලිව කැබලි වන්නට ගිය "වයිස්රෝයි" යළි උපන් හැටි

ලාංකීය සංචාරක දුම්රිය සංස්කෘතිය එකලු කළ  "විසුරේ " දුම්රියේ මංගල ගමන


සුද්දාගේ කාලයේ ඇරඹී, මනාව පවත්වාගෙන ගිය ශ්‍රි ලංකා දුම්රිය සේවයේ උදාරම් කාලය අවසන් වූයේ 1970 දශකයේ මුල් අවධියේය. එතෙක් මහා පරිමාණ පුද්ගලික සමාගම් සමඟ ගිවිසුම් ගතව සේවාවන් සපයමින් දේශීය ආදායමින් වැඩි ප්‍රතිශතයක් උපයාදුන් ශ්‍රී ලංකා දුම්රිය සේවය නිදහසින් පසු  නිසිලෙස  යාවත්කාලීන නොවීමේ  ආදීනව විඳිමින් මාර්ග ප්‍රවාහනය සමඟ තරඟ කරන්නට නොහැකි වීමෙන්ද,  ජනසතු කරන ලද කර්මාන්තායතන වලට සේවා සැපයිමෙන් ලැබීමට නියමිත හිඟ මුදල් ප්‍රමාණය සිමාව ඉක්මවීමෙන්ද, විවෘත ආර්ථිකය සමඟ ඇරඹි පුද්ගලික ආයතන වල නම්‍යශීලී පාරිභෝගික සේවා සැපයීම හමුවේ රජයේ නීති රෙගුලාසි වල සිරකරුවකු වෙමින්ද කළමණාකරණයේ මඟ හසර නොදකිමින් සිටි අවධියක සිදුවූ එක් යහපත් සංධිස්ථනයකට අවතීර්ණ වූ සුවිශේෂී දිනය 1986 පෙබරවාරි 02දා ය.



එදා උදෑසන 6.30 වන විට කොටුව දුම්රිය පොළ උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබිණි.  ජාතික නිදහස් උළෙලට තව දින දෙකක් ඉතිරිව තිබුණද ජාතික කොඩිද, විවිධ වර්ණයෙන් යුතු කොඩිද, ඒකාකාරී දුරින් පිහිටි කොඩි කණු වල ඉහළින් උජාරුවට ලෙලදෙමින් තිබිණ. සංචාරක මණ්ඩලයේ අලංකාර පුවරුද අතරින් පතර රඳවා තිබිණි.  1928දී  බේයර් පීකොක් සමාගමේ නිපදවුණු B1A අංක 251 අංක දරන සර් තෝමස් මේට්ලන්ඩ් නමින් විරුදාවලි ලත් වාෂ්ප එන්ජිම පෙරටුකරගත් "විසුරේ" සුඛෝපභෝගී මැදිරි තුනක්ද සහිත සුවිශේෂී දුම්රිය කොටුව දුම්රිය පොලේ තෙවැනි වේදිකාභිමුඛ මාර්ගයෙහි නවතා තිබුණේ සිය මංගල ගමන කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීම අරමණු කරගෙන වුවද එය ලාංකිය සංචාරක සේවා සපයන දුම්රිය සේවාවේ දිගු ගමනක ආරම්භය විය.


1984දී බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පැමිණි වාෂ්ප එන්ජින් ලෝලියෙකු වූ ක්ලිෆ් ජෝන්ස් නම් සංචාරකයාගේ රත්මලාන දුම්රිය වැඩබිම සංචාරයට මෙරට දුම්රිය ලෝලියෙකු වූ හේමසිරි ප්‍රනාන්දුගේ සහය පතා ජේ.එෆ් ටුවර්ස් වෙත  පැමිණි ගමන අවසන් වූයේ "Viceroy Special" සුවිශේෂී  සංචාරක දුම්රිය ව්‍යාපෘතිය ඇරඹීමෙනි. වසරකුත් මාස නවයක පමණ කාලයක් තුළ ව්‍යාපෘති වාර්තාවත් රැගෙන සංචාරක අමාත්‍යවරයාගේ සිට සංචාරක මණ්ඩලය දක්වාත්, ප්‍රවාහන අමාත්‍යවරයාගේ සිට දුම්රිය දෙපාර්තමේන්තුව, ධාවනාගාර  සහ වැඩබිම් වෙත සිය දහස් වරක් ගිය ගමනක අවසානය 1986 පෙබරවාරි 02දා නම් වූ සුවිශේෂී දිනයෙන් සනිටුහන් විය.

එම සුවිශේෂී දිනයේ එවකට දුම්රිය සාමාන්‍යාධිකරී ජී.පී.එස්. විරසුරිය මහතා ප්‍රමුඛ දුම්රිය දෙපාර්තමෙන්තුවේ ඉහළ පරිපාලන නිළධාරීන්ද, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය හා ඕලන්ද තානාපති කාර්යාල නිළධාරින්ද, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ද "Viceroy Special" දුම්රියේ මංගල ගමන වෙනුවෙන් කොටුව දුම්රියපොළ වෙත පැමිණ  සිටියහ. එවකට සංචාරක අමාත්‍යවරයා වූ ආනන්ද තිස්සද අල්විස් මහතා නොවැලක්විය හැකි හේතූන් මත මෙම අවස්ථාවට සහභාගී නොවූ නමුත් ජනාධිපතිවරයාගේ හදිසි කැඳවීමද නොතකා ප්‍රවාහන අමාත්‍යවරයා  ලෙස එම්.එච්.එම්. මොහොමඩ් මහතා මෙම අවස්ථාවට පැමිණ තිබිණි. මෙම අවස්ථාවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් කොටුව දුම්රිය ස්ථානයේ තෙවැනි වේදිකාවේ ස්ථාපිත කර තිබූ තාවකාලික කාර්යාලය තුළ "Viceroy Special"  දුම්රිය වෙනුවෙන් රුපියලක මුද්දරයක්ද නිකුත් කළ අතර මහා සංඝරත්නයේ ජය පිරිත් දේශණා මධ්‍යයේ පෙරවරු 8.37ට යෙදුණු සුබ මොහොතින් "Viceroy Special"  දුම්රිය සිය මංගල ගමන ආරම්භ කළේය. මේ අවස්ථාවට සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂ හේමසිරි ප්‍රනාන්දු මහතාද, ක්ලිෆ් ජෝන්ස් මහතාද සහභාගී වු අතර පැය කිහිපයක ගමනකින් මහනුවරට ළඟාවූ  දුම්රිය පිළිගැනීම අධ්‍යක්ෂිකා ශිලා ප්‍රනන්දු මහත්මිය සහ කළමණාකාරු අර්නසට් වේදානන්ද  විසින් සිදුකරනු ලැබීය. දුම්රිය මහනුවරට ළඟාවන අවස්ථාවේ උඩරට නර්තනාංග සහිත සංස්කෘතික විචිත්‍රාංගයක්ද සිදු කළ බව සඳහන්ය.


මෙම මංගල ගමනෙන් අනතුරුව "Viceroy Special"  දුම්රියේ කිතුගොස ලොව පුරා පැතිර ගිය අතර ක්‍රම ක්‍රමයෙන් සංචාරක දම්රිය සේවා ඇවුම් සමාගමට ලැබෙන්නට විය. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නියම කළ මසකට අවම කිලෝමීටර් දහසක ඇණවුම පූර්ණය කිරිම පළමු වසර දහය තුළ සමාගමට අසීරු අභියෙයා්ගයක් වූ නමුදු අද වන විට "Viceroy Special - 2"   "හිතාචි දුම්රිය" සහ "රේල් කාරය" යොදාගනිමින් මසකට අවමව කිලෝමීටර් 5000ක ඇණවුමක් පූර්ණය කරයි.

2017 අගෝස්තු 16දා රිවිර "කෝච්චියේ අපි" අතිරේකයේ පළවිය.

2016 වසරේ සිදුකල "වයිස්රෝයි" බදුලු සංචාරයේ කතාව මෙතැනින්

සටහන සහ තොරතුරු - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

ඡායාරූප - හේමසිරි ප්‍රනාන්දුගේ Viceroy Special කෘතියෙනි.



අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

Wednesday 25 October 2017

ඇලෙක්සැන්ඩර්ගේ මාළු කෝච්චිය අදෝරිස්ට පෙනි පෙනී පෙරළී යයි....

1964 දී මාළු කෝච්චිය විල්වත්තේ පෙරළුණු හැටි.....


1964 ඔක්තෝබර් මස 16දා සිකුරාදාවකි. සතියේ දින “බෝට්ටු දින“ සහ  “බෝට්ටු නොඑන දින“ ලෙස වෙන්කරගෙන සිටි තලේමන්නාරමේ වැසියන්ට අනුව එදින “බෝට්ටු නොඑන දින“යකි. එනිසාම ඒ සවස් වරුව තලේමන්නාරමට සන්සුන් සන්ධ්‍යාවක්විය. බෝට්ටු දින යනු  තලේමන්නාරම සහ ඉන්දියවේ රාමේෂ්වරම අතර සිදුවූ මඟී බෝට්ටු සේවා ක්‍රියාත්මක වූ දිනයන්ය. මෙරට පදිංචිව සිටි වතු කම්කරුවන් සහ ඉන්දියාව සහ ලංකාව අතර ව්‍යාපාරික කටයුතු සඳහා වන මඟී අවශ්‍යතා එකළ සපිරුණේ මෙම බෝට්ටු සේවා මඟිනි. සන්සුන් තලේමන්නාරමේ දුම්රිය පොළ අසළ පමණක් යම් කලබලකාරීත්වයක් තිබුණේ නම් ඒ රාත්‍රියේ කොළඹ බලා යන අංක 400 හෙවත් “ තලේමන්නාරම එක්ස්ප්‍රස්“ නම් රාත්‍රී තැපැල්‍, මඟී සහ භාණ්ඩ දුම්රිය වෙනුවෙන් වූ සූදානමිනි. 

අංක 572 දරණ කැනඩාවේ නිෂ්පාදිත "British Colombia"  යනුවෙන් නම් කළ දුම්රිය එන්ජිම පෙරටු කරගත් රාත්‍රී දුම්රියේ මැදිරි නවයක් අමුණා තිබිණි. එකළ ධාවනය වූ මැදිරි බොහොමයක් ලී පටි ගසා සැකසූ සැහැල්ලු මැදිරි වූ අතර ඒවායෙන් මගී මැදිරි 7234, 6739, 6584, 7774, 6613ලෙසද  භෝජන මැදිරිය 7904 ලෙසද , රාත්‍රී නිදන මැදිරි 6998ලෙසද , පාර්සල්/නියාමක මැදිරි 7351, 7470 ලෙසද අංකනය කර තිබිණි. පේසාලේ දුම්රිය පොළට රාත්‍රී 9.20ට ළඟාවූ මෙම දුම්රියට අංක  9107දරණ මාලු මැදිරි යද ඇමිණූ අතර මැදවච්චියේදී එක් මඟී මැදිරියක් ගලවා ඉවත් කළේ කොළඹ සිට පැමිණෙන යාපනය රාත්‍රී දුම්රියට පසුව ඇමිණීම සඳහාය. තීරණාත්මක දවසක ඇරඹුම සනිටුහන්වූ ඔක්තෝබර් 17දා පෙරවරු 1.00ට පමණ මැදවච්චියෙන් පිටත්වූ දුම්රියේ සිටි මඟීහු තමන් ඓතිහාසික ගමනක සාමාජිකයින් වන බව නොදැන සුව නින්දක ගිලෙමින් නොගිලෙමින් පසුවුහ. 


අළුයම 2.10ට අනුරාධපුරයට පැමිණි දුම්රිය මද ඉසිඹුවක් ගත්තේ රියදුරු ඇතුළු සේවක කණ්ඩායමේ මාරුවකටය. රියදුරු ලෙස  ඊ.එච්.ඇලෙක්සැන්ඩර් මහතාද, සහායක ලෙස එච්.එම්.චන්ද්‍රසේකර මහතාද,  නියාමක ලෙස එස්.ඒ.ඩි.පෙරේරා මහතාද,  සේවය භාරගෙන ඇත. කිසියම් අනපේක්ෂිත හේතුවක් නිසා පෙර දින අඛණ්ඩව අනුරාධපුර යාපනය අතර ඉහළ පහළ යාමට පැය ගණනක් සේවය කළ රියදුරු වරයාට නිසි විවේක කාළය සම්පූර්ණ නොකර අළුයම තවත් දුම්රියක සේවය කරන්නට සිදුවීම කණගාටුදායක සිද්ධියක ඇරඹුම වන බව කිසිවෙකු නොසිතන්නට ඇත. කෙසේ හෝ අළුයම 3.47 මහව සන්ධියට ලගාවූ දුම්රිය වෙත තව ගැල් මැදිරි 14ක් එක් කරන ලදී. මෙම මැදිරි බොහොමයක් මඩකලපුව සහ ත්‍රිකුණාමලය සිට  කොලඹ ප්‍රධාන ගැල් මැදිරි අංගනය වෙත ප්‍රවාහනය කිරීම සදහා මෙම දුම්රියට අමුණා ඇත. ඒවායෙන් එකක් 1906  දරණ රේල් පීලි ප්‍රවාහන මැදිරියක් වූ  අතර අනෙක් සියල්ල සහල් පැටවූ ඒවා විය. සහල් මලු 180 ක් බැඟින් එක් මැදිරියක පැටවූ  3539, 3426, 4372, 4112, 4818, 4188, 4244, 5980 අංක සහිත බ්‍රිතාන්‍ය ගැල් අටක්ද,  සහල් මලු 85ක් බැඟින්  එක් මැදිරියක පැටවූ 9177, 9382, 9335, 9139, 9418, 9443 අංක දරණ චීන මැදිරි හයක්ද සහිතව අළුයම 04,07ට මහව මංසන්ධියෙන් කුරුණෑගල දෙසට ගමන් ඇරඹූ දුම්රිය තරමක පමාවකින් පසු පොල්ගහවෙල දක්වා මන්දගාමී ලෙස පැමිණි අතර,  ඉන් අනතුරුව ද්විත්ව මාර්ගයේ නිදහස්ව ගමන් කිරීමේ වරමින් ඒ ප්‍රමාදය මඟහරින්නට සිතමින් පෙරවරු 5.58ට පොල්ගහවෙලින් ගමන අරඹා ඇත.


ඒ මොහොතේ පස්යාලේ සිට ගිරිඋල්ලට විහිදුනු මාර්ගයේ හමුවන විල්වත්ත දුම්රිය හරස් මඟේ උදෑසන රාජකාරිය භාරගන්නට පැමිණියේ ඒ. එම්. අදෝරිස් මහතාය. අත්දැකීමෙන්ම දන්නා පරිදි කොළඹ  සිට පොල්ගහවෙලට යන මන්දගාමී මඟී දුම්රියත්, තලේමන්නාරමේ සිට එන මාළු කෝච්චියත් (අංක 400 දුම්රිය සාමාන්‍ය ජනයා අතර ප්‍රසිද්ධව තිබුණේ  එනමිනි. ඒ කොළඹට මාළු ප්‍රවාහනය නිරන්තරව සිදු කෙරුණේ එම දුම්රියෙන් නිසාය.) වෙනුවෙන් ගේට්ටු වසා සංඥා ක්‍රියාත්මක කිරීමට ඇති බැවින් තම කුටියේ ඇති දුරකථනයෙන් මීරිගමට අමතා එම දුම්රියයන් වල පැමිණීම තහවුරු කරගත්තේය. පළමුව එම ස්ථානය පසුකර ගියේ කෙළඹ සිට පැමිණි දුම්රියයි... ගේට්ටුව වසා කොළ පැහැ කොඩියත් රැගෙන දුම්රියට මාර්ගය සූදානම් බවට දැක්වීමට ගිය ඔහු යළි ගේට්ටුව විවර නොකර බලා සිටියේ සීග්‍රඝාමී දුම්රිය විල්වත්ත වංගුවෙන් මතුවන තුරුය. ඒ එයට ද මාර්ගය සූදානම් බවට සංඥා කිරිමටය. කාර්යබහුල මාර්ගයක් නොවූ විල්වත්තේ හරස් පාර මිනිත්තු කිහිපයක් වසා තැබීම එකළ ගැටළුවක් නොවන්නට ඇත. ඒ අතර තුර එදිනෙදා දෛනික කටයුතුවලට යන විල්වත්තේ ගැමියන් ඔහුගේ නෙතට හසුවිය. ආප්ප වට්ටියක් උකුළට ගත් තරුණියක් විල්වත්ත කඩපොළට යනයුරුත්, උදළු ගත් ගොවීන් යාබද කුඹුරට බසිනුත් ඔහු දකින්නට ඇත.

පොල්ගහවෙලින් පසු ඊ.එච්.ඇලෙක්සැන්ඩර් රියදුරු මහතා ප්‍රමාදය වළක්වගැනිමේ වුවමනාවෙන් දුම්රියේ වේගය මදක් වැඩි කළ අතර එය පෙරවරු 6.07ට අලව්වත්, 6.16ට අඹේපුස්සත් පසු කළේය. 572 එන්ජිමේ වේග මාපක ක්‍රියාත්මක නොවූ බැවින් එහි වේගය අත්දැකීමෙන් අවබෝධ කරගත යුතු වූවද, අධික වෙහෙස නිසා හෝ නොසැළකිල්ල නිසා පැයට සැතැපුම් 35ක වේග සීමා ඉක්මවා පැයට සැතැපුම් 48ක පමණ වේගයකින් දුම්රිය ධාවනය වන බව රියදුරා අවබෝධ කොට ගෙන සිටියේ නැත. 

විල්වත්ත වංගුවට 6.20ට ළඟාවූ දුම්රියේ බඩු මැදිරි වලට එතරම් වේගයකින් එම වංගුව පසුකිරීම අපහසු වන්නේ ඒවා බෝගි රහිත සරල රෝද හතරේ මැදිරි වූ නිසාය. ඒ නිසා අධික වේගයෙන් පැමිණි දුම්රියේ මාළු පැටවූ අංක 9107 මැදිරිය විල්වත්ත වංගුවේදී (වත්මන් විල්වත්ත දුම්රිය ස්ථානය අසළදී ) පීලි පනින අතර අවධානම අවබෝධකරගත් රියදුරාද පිලි පැනීම නොදැන හදිසියේ තිරිංග සඳහා යොමු වු බවට පරීක්ෂණ වලදී පසුව අණාවරණය විය. 

අදෝරිස් ගේ බලාපොරොත්තුව සඵල කරමින් මාළු කෝච්චිය වංගුවෙන් මතුවුවද, ඔහුට දකින්නට ලැබෙන්නේ යළි කිසිදාක දකින්නට නොලැබෙන අවාසනාවන්ත ඉරණමකට එම දුම්රිය මුහුණ දෙන ආකරයය. එනම්  එන්ජිම සහ මැදිරි 03ක් නිරුපද්‍රිතව ඉදිරියට එද්දි එයට පිටුපසින් වූ මැදිරි මහා හඬක් නගමින් එක පිට එක පෙරළෙමින් මාර්ගයේ වම්පස වූ කුඩා වගුරටත් , ඉහළ දුම්රිය මාර්ගයටත් විසිවී යන ආකාරයය. තවත් මොහොතකින් සුව නින්දේ ආ මඟීන්ගේ මාරාන්තික ඉකිබිඳුමෙන් නිසළ විල්වත්ත සසළ වී යනු ඇසිණි. ඒ හඬ කොතෙක් දුරට ඇසුණිද යත් ඒ මොහොතේ තවලම්පිටියේ ළැඟුම් ගෙන සිටි බාලදක්ෂ සිසුන් පිරිසක්ද  ඒ හඬින් සසළව වහ වහා හඬ ඇසුණු දෙසට පැමිණියහ. 


එතෙක් මෙරට සිදුවූ දුම්රිය අනතුරු වලින් දෙවන ප්‍රබල අනතුර වූ මේ අනතුරෙන් එම ස්ථානයේදීම මිය ගිය ගණන විසිපහකට ආසන්න වූ අතර පසුව සිදුවූ මරණ සමඟ සම්පූර්ණ මරණ සංඛ්‍යාව හතළිහක් පමණ වේ. තුවාලකරුවන් සියයකට ආසන්න පිරිසක් විල්වත්ත සහ වතුපිටිවල රෝහල් කරා ඇතුළු කළහ. මේ පිළිබඳ පශ්චාත් පරීක්ෂණ ගණනාවක් සිදුවූ අතර ඒ පිළිබඳ තොරතුරුත් අදටත් විල්වත්තේ ජීවත්වන ඇසින් දුටු පුද්ගලයින්ගේ විස්තර කිරීම් සහිත මෙම ලිපියේ ඉතිරි කොටස මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

දයා ලේල්වල සහ අකිල ආරියප්පෙරුම මහතාගේ ලිපි කිහිපයකින්ද තොරතුරු සපයා ගැණුනි.


සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ


අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

Friday 28 July 2017

දහසක් දන නිති යනෙනා දුම්රිය මඟ අද්දර හුදකළා වුණු - අලගල්ලේ සඟරජලෙන


මෑත දශකය දක්වාම දුම්රියෙන්ම පමණක් හැර වෙනත් කිසිම වාහනයකින් ළඟාවිය නොහැකි වූ කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්ක මායිමේ අලගල්ල කන්දේ නිරිතදිග කොටසේ කඳුමුදුනට අඩි 2500ක් පහතින් සුන්දර දුම්රිය පොළක් පිහිටා තිබේ. ඒ ආරම්භයේ සිට 1970 දක්වාම "අලගල්ල" නමින් හැඳින්වූ වත්මන් "ඉහළ කෝට්ටේ" දුම්රිය පොළයි. මෙම දුම්රිය ස්ථානයට වාහනයකින් පැමිණෙන්නේ නම් මාවනැල්ල රඹුක්කන පාරේ මාකෙහෙල්වලට පැමිණ දකුණට හැරී මාකෙහෙල්වල පුරාණ විහාරය පසුකර ඉහළ කෝට්ටේ විහාරය අසළට පැමිණ අඩි 500 ක් පමණ ඉහළට නැඟිය යුතුය.(මාවනැල්ලේ සිට කි.මී. 8.2ක දුරක් ඇත.) දැනට එම කොටසේ පටු කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිව ඇත. මෙම දුම්රිය ස්ථානයට කොළඹ සිට දුර කි.මී. 95කි. මුහුදු මට්ටමේ සිට උස මීටර 322.17ක්  හෙවත් අඩි 1050කි. මෙම හුදකළා දුම්රිය ස්ථානය අද වන විට දේශීය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ "අලගල්ල" කන්ද නඟින්නට පා මඟක් එම දුම්රිය ස්ථානය අසළින් ඇරඹෙන නිසාය. නමුත් ඒ සංචාරකයින් බොහෝ දෙනෙකු නොදන්නා සුන්දර සහ පෞරාණික ස්ථාන රාශියක් මෙම දුම්රිය ස්ථානය ආසන්නයේ ඇත. 
ඉහළ කෝට්ටේ දුම්රිය පොළ - ලක්දසුන් අඩවියෙනි. 
ඉහළ කෝට්ටේ දුම්රිය පොළ - තරණය අඩවියෙනි.

අලගල්ල කන්ද - ලක්දසුන් අඩවියෙනි. 
රඹුක්කන සිට කඩුගන්නාවට යන දුම්රිය මාර්ගයේ හමුවන, මෙරට දෙවැනියට දිගම දුම්රිය මාර්ග බිංගෙය වන 5A බිංගෙයටත් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ පළමු ඇතුළු වීමේ සංඥාවටත් අතර ස්ථානයක සැතැපුම් 59 කණුව පිහිටා ඇත.මෙම කණුවට විරුද්ධව  කඳු යාය දෙසින්  පිහිටි අඩි 30ක් පමණ උසින් යුතු තරමක් දුම්රිය මාර්ගයට ආසන්නව පවතින ගල් කුළ ගැන දුම්රිය මඟීන්ගේ සුවිශේෂ අවධානයක් යොමු වන්නේ  නැත. නමුත් මේ ගල් පර්වතය මෙරට බෞද්ධාගමිකයින්ට බොහෝ සෙයින් වැදගත් වන අතීත කතාවක නිහඬ සාක්ෂ්‍යකරුවෙකි. 

පර සතුරන්ගෙන් සහ මිසදිටුවන්ගේ විවිධ බලපෑම්  හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංඝ සමාජයට  අහිමි වූ උපසම්පදාව යළි පිහිටුවන්නට පෙරමුණ ගනිමින් ශාසනයේ චිරජීවනය පිණිස මුළු ජීවිත කාලයම ඇප කැප කළ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ මාහිමියන් ( 1698 ජූනි 19 – 1778 ජූලි 18), සිය සාමනේර සමයේ මුහුණ පෑ අභියෝගාත්මක කාලවකවානුව ගතකර ඇත්තේ මේ ගල්ලෙන තුළය. එයට ප්‍රස්තූත වන කථාවේ සාරාංශය පහත පරිදිය. 

වර්ෂ 1707 - 1739 සමයේ මහනුවර  රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ සමීපතමයෙකු සහ  රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දස්කොන් හෙවත් පේද්‍රෝ ගැස්කොන් අදිකාරම පිළිබඳව අපි අසා ඇත්තෙමු. කෙසේ හෝ අකාළයේ  දස්කොන් මරණ දඬුවමට යටත් වනුයේ රජුගේ බිසවක සමග පැවැති අනියම් සබඳතාවයක් හෙළිවීමෙන් රාජ උදහසට ලක්වීමෙනි. නමුත් රජුගේ හිත මිතුරෙකු වූ දස්කොන් කෙරෙහි ද්වේශයෙන් රජු සහ ඔහු අතර සිත් බිඳවීම සිදුකරන්නේ සූරියගොඩ තෙරුන් සහ ලෙව්කේ රාළහාමිගේ (ලෙව්කේ දිසාව නොවේ) කුමන්ත්‍රණයක් මත බව ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රජුට ඒත්තු ගැන්වීමෙන් පසු රජු විසින් සූරියගොඩ හිමියන්වද මරණ දණ්ඩණයට පත් කැර ඇත. ලෙව්කේ රාළහාමි අලගල්ලට නුදුරු මාකහෙල්වල ගමේ සිර අඩස්සියට පත් කැර ඇත. 

මහනුවර තුම්පනේ වැලිවිට නම් ගමේ කුලතුංග මුදලි ට දාව උපන් කුලතුංග බණ්ඩා කුමරු ධර්‍ම ශාස්ත්‍ර දත් තෙරවරුන් හිඟව පැවැති එසමයේ, මහනුවර සූරියගොඩ විහාරයේ දී සූරියගොඩ රාජසුන්දර සාමණේර හිමි යටතේ සරණංකර නමින් පැවිද්ද ලබාගනී. සරණංකර සාමණේර හිමි පැවිදිව සුළු කලෙකින් සූරියගොඩ රාජසුන්දර සාමණේර හිමි රාජ උදහසට ලක්ව මරණ දඬුවමට යටත් විය. මේ නිසා ධර්ම ශාස්ත්‍ර හැදෑරීමට උන්වහන්සේට ගුරු හිමි කෙනෙක් නැති විය. ඉන් අනතුරුව ගුරුවරුන් සොයා ඇවිද ගිය උන් වහන්සේට පාළි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති ලෙව්කේ රාළහාමි හමු විය. උන් වහන්සේ ඔහු ගෙන් බාලාවතාරය නම් වූ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයේ නාම කාණ්ඩය උගත්තේය. ඉන් පසුපෝයමළු විහාරයේ වැඩ විසූ, වටපුළුවේ සාමණේර හිමි ගේ ශිෂ්‍ය,  පල්කුඹුරේ අත්ථදස්සි සාමණේර හිමි ගෙන් සමාස කාණ්ඩය උගත්තේය. මේ කාලයේ ලෙව්කේ රාළහාමිද රාජ උදහසට ළක්ව මාකෙහෙල්වල ගමේ නිවාස බන්ධනයට ළක් කොට තිබූ නිසා සරණංකර සාමණේර හිමියෝ ඊට නුදුරු අලගල්ල කන්දේ පිහිටි මෙම ගල්ලෙනට රහසේ වැඩම කොට සෑඟවී වාසය කළේ රාජ උදහසින් බේරී ධර්‍මය හැදෑරීමටය. ලෙව්කේ රාළහාමි මාකෙහෙල්වල ගමේ විසූ නිවෙසද, භාවිතා කළ ගල්ලෙනක්ද තවමත් මාකෙහෙල්වල ගමේ ඇත.

රජුගේ ද්වේශයට පත් සූරියගොඩ උන්නාන්සේගේ විහාරය රාජ අනුග්‍රහයෙන් විනාශකර ඇති අතර ගෝල හිමිවරු විසින් වටිනා පොත් පත් ආදිය බේරාගෙන රටේ විවිධ ප්‍රදේශ වලට ගොස් සැඟවී ජීවත් වී ඇත. සූරියගොඩ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ගෝල හිමි නමක් වූ වැලිවිට අසරණ සරණ සරණංකර සාමනේර හිමියන් එසේ පැමිණ පෙර සඳහන් කළ පරිදි සැඟවි සිට ඇත්තේ  මේ දුම්රිය මාර්ගය අද්දර පිහිටි ගල්ලෙනෙහිය. එකළ දුම්රිය මාර්ගයක් තබා පා ගමන් මාර්ගයක්වත් නොතිබූ මෙම පෙදෙස ඝණ කැලෑවකින් යුක්ත සුන්දර ප්‍රදේශයක් බව කියැවේ.  උන්වහන්සේ මෙම ගල්ලෙනෙහි වසර ගණනාවක් වාසය කිරීමෙන් පසු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ නියෝගයකින් ලග්ගල ප්‍රදේශයට වැඩම කර වාසය කර ඇත. පසුකාලීනව භාරතයෙන් පැමිණි බමුණකුගේ ශ්ලෝකයක් විසඳා ගැනීමට රජුට වුවමනා වූ අතර එකල වැඩ උන් ගණින්නාන්සේලා ඊට අපොහොසත් වූහ. අවසානයේ එය විසඳා ලූයේ සරණංකර සාමණේර හිමිය. ඒ හේතුවෙන් රජුගේ ප්‍රසාදය නැවත දිනා ගැනීමට උන්වහන්සේ සමත් වූහ. පසුව උන්වහන්සේ රජුගේ උපකාරයෙන් මහනුවර ඇම්බැක්කේ නියමකන්ද නම් තැනක පිරිවෙනක් පිහිටුවා ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනයේ අභිවෘද්දියට කටයුතු කළහ.


වර්ග අඩි හයසිසයක් පමණ විහිදෙන ගල්ලෙන තුළ තරමක් විශාල පොකුණක්ද ගල්ලෙන ආසන්නයේ කුඩා ළිඳක්ද වේ. මේ වන විට වවුලන්ගෙන් සහ කුඩා සතුන්ගෙන් පිරී ඇති එම ගල්ලෙන ඛාදනය වි දුම්රිය මාර්ගයට පෙරලිමට ඇති ඉඩකඩ අහුරමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගලින් කළ බැම්මක්ද වේ. දැනට මාස කිහිපයකට වරක් මේ අවට ශුද්ධ පවිත්‍ර කිරිම මෙම මාර්ග කොටසේ වැඩ කරන දුම්රිය සේවකයින් විසින්ම සිදු කෙරේ. 

ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානයට ඉතා අසන්නව පිහිටි මේ ගල්ලෙන සහ අදාළ පුරාවිද්‍යා වටිනාකම් ස්ථාන ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මෙතෙක් යොමුවී නැත. එසේ අවධානය යොමු කර සංරක්ෂණය කර පවත්වාගෙන යන්නේ නම් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයද ඉහළ කෝට්ටේ දුම්රියපොළ වෙත ලැබෙනු ඇත.

සංඝරාජ හිමියන් මැදිහත්ව සියමෙන් උපසම්පදාව ගෙන ආ පිරිස පිළිගත් ගෝකන්න වරාය ඉදිරිපිට පිහිටි ස්මාරකය ගැන සටහන මෙතැනින් කියවන්න. 



තොරතුරු සපයාදුන් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ හිටපු ස්ථානාධිපති විජේසිරි මහතාට සහ සෆ්රාස් මහතාටත්, විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපති සෝමසිරි මහතාට සහ සම්බන්ධීකරණය කළ ගමන කණ්ඩායමටත් ස්තූතියි.


ගවේශනාත්මක හඹායාම සහ සටහන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ
ඡායාරූප - දමින්ද ප්‍රාසංගික


අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.


Thursday 29 June 2017

ඉන්දියානු AFCONS සමාගම ට බැරිදේ Jhon Holands සමාගම සිදුකරයි

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වන ඉන්ධන, මගීන්, ගවයින් සහ සාමාන්‍ය පාර්සල් රැගත් අංක 1596 දරණ මිශ්‍ර දුම්රිය 1992 ජූනි 03 දින වටවලදී  නායයෑමකට හසුවිය. ඒ පිළිබඳ පළමු ලිපිය මෙම බ්ලොග් අඩවියේම පළවිය. ඒ ලිපිය මෙතැනින් කියවන්න. 


1992 ජූනි මස 03දා වටවල දී සිදුවූ නායයෑම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සැකසූ ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ වාර්තාවෙන් මෙම භූමියේ නිරන්තර නායයෑමට අදාළ හේතුව අනාවරණය වුණි.එම වාර්තාවට අනුව මෙම භූමිය තුළ මතුපිටට නොපෙනෙන අභ්‍යන්තර ජල ප්‍රවාහයක් නිරන්තරව පවතින අතර වැසි වැඩිවීමත් සමඟ එම ජලය පසතුළ වූ සවිවර තැන් වලින් මතුව ගලායාම නිසා පස බුරුල් වී නායයෑම් ඇතිවන බවත් කියැවිණි.සාමාන්‍ය වැසි රහිත දිනයක අදළ  ප්‍රදේශය තුළ එසේ එක් තත්පරයක්දී අභ්‍යන්තරව උණන  ජල ප්‍රමාණය ලීටර් 200ක් පමණ බවත් එම වාර්තාවේ දැක්විණි.  දුම්රිය මාර්ගය මෙම බිම ආශ්‍රිතව යළි ඉදිකිරීමට නම් මේ ජල ප්‍රවාහය නිසි ක්‍රමවේදයක් ඔස්සේ පහළ මහවැලි ගඟ දක්වා රැගෙන යාමට උපක්‍රම යෙදීම අවශ්‍ය බව එම වාර්තාවෙන් වැඩි දුරටත් පවසා තිබිණි. 

ඉන්දියානු AFCONS සමාගම විසින් පැවැති මාර්ගයේම දුම්රිය මඟ යළි ඉදිකිරීමට සැළසුම් කළද යළි සිදුවූ නායයෑමත් සමඟ එම උත්සාහය අත්හැර දැමිණී. ඉන්පසුව ඕස්ට්‍රෙලියානු සමාගමක් වන Jhon Holands නම් සමාගම විසින් අභ්‍යන්තර ජල වහනයට ප්‍රතිකර්ම කිරීම ඇරඹූණු අතර දුම්රිය මාර්ගය පැවැති ස්ථානයට පහතින් වෙනත් මඟක් ඔස්සේ නිර්මාණය කිරීම ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරිණි. 
තත්පරයකට මෙම භූමිය තුළ උපදින ලීටර 200ක ජල ප්‍රමණයෙන් වැඩි කොටස නායයෑමට ලක්වූ භූමිය දෙපසින් තැනූ විධීමත් ජල කාණු දෙකක් ඔස්සේ පහළට ගලා යන්නට සැළැස්වූ අතර  අනෙකුත් ජලය එක්රැස් කරන්නට උපක්‍රම යෙදීම සිදුවිය. ඒ අනුව භූගතව යෙදූ විවර සහිත ප්ලාස්ටික් නළ 15ක් සහ උල්පත් වතුර රැස් කිරීමේ ඒකක 6ක්ද ස්ථාපනය කෙරිණි. මෙම එක් ඒකකයකට තත්පරයට ලීටර් 04ක ජල ප්‍රමාණයක් රැස්වන අතර  ඒවා මඟින් රැස්කරන ජලය දුම්රිය මාර්ගයෙන් පහළට භූගතව රැගෙන ගොස් කෘතිමව සැකසූ කාණු ඔස්සේ මහවැලි ගඟ කරා රැගෙන යයි.වටවල වැඩබිමට මීටර පන්සියයක් පමණ පහළින් පිහිටි ස්ථානයකට එම නල සියල්ල ඔස්සේ ගලායන ජලය එක්රැස් කර මහවැලි ගඟ කරා යොමුකර ඇත.
මෙම සුවිශේෂී ජල කළමණාකරණ කටයුත්ත ඉදිකළදා පටන් අද දක්වාම නිසි නඩත්තුවෙන් යුතුව පවත්වාගෙන යන අතර ඒ වෙනුවෙන්ම නිර්මිත කාර්යාලයක්ද මේ ස්ථානයේ ස්ථාපිත කර ඇත.එය වටවල වැඩබිම යනුවෙන් හැඳින්වේ.  කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වැසි ජල මානයක්ද මෙම ස්ථානයේ සවිකර තිබේ. එම ස්ථානය වටවල දුම්රිය ස්ථානයට මදක් ගලබොඩ දෙසට  වන්නට නායයාමට ලක්වූ ස්ථානයේම පිහිටා ඇත. ජාතික ගොඩනැඟිල් පර්යේෂණ ආයතනය, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව  යන ආයතන දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ නිරන්තරව සම්බන්ධ වෙමින් අද දක්වාම මෙම භූමියේ සහ අභ්‍යන්තර ජල උල්පත් වල ස්වභාවය නිරීක්ෂණය කරයි. නාවලපිටිය දුම්රිය ගොඩනැඟිලි අධීක්ෂක හේරත් මහතා මෙම කටයුත්තේ වත්මන් ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ස්ථානීය භාරකරු ලෙස කටයුතු කරන්නේ කොණ්ඩන් විජයකුමාර් මහතාය. මෙහි සාර්ථකත්වය තහවුරු වන්නේ 1993 මෙම කටයුත්ත ඇරඹීමෙන් පසුව මේ දක්වා කිසිදු නායයාමක් වටවල ප්‍රෙද්ශයෙන් වාර්තා නොවීම නිසාය.

 Jhon Holands සමාගම විසින් මෙම අභ්‍යන්තර ජල වහනය කළමණාකරණය කිරීමෙන් පසුව මෙරට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පැරණි දුම්රිය මාර්ගයෙන් තරමක් ඉහළට වන්නට සැකසූ නව කැපුමක් දිගේ විනාශ වී ගිය දුම්රිය මාර්ගය යළි ඉදිකරන්නට යෙදිනි. ඒ වෙනුවෙන් ඉහළ කළාපයේ ස්ථීර මාර්ග පරීක්ෂක වරුන් යටතේ ඇති වැඩ ඒකක ගණනාවක සහය ලබාගත් අතර හැටන් දික්ඔය කළාපයේ වත්මන් දුම්රිය ස්ථීර මාර්ග පරීක්ෂක සුමනසිරි බුලත්සිංහල මහතාද එවකට ආධුනිකයෙකු ලෙස ඒ වැඩකටයුතු සඳහා එක්වී තිබේ. ඒ මහතා එකළ සේවය කර ඇත්තේ කඩුගන්නාව කළාපයට අනුයුක්තවය. 

මාස කිහිපයක පරිශ්‍රමයකින් පසු දුම්රිය මඟ යථාතත්වයට පත්වූ අතර කොළඹ බදුල්ල දුම්රිය ගමනාගමනයද යළි ආරම්භ විය. නායයෑමට පෙර සරුසාර තේවත්තක් සහ ජනාවාසයක්ව පැවැති මේ බිම අද වන විට මුඩු බිමක් බවට පත්ව ඇත. අද වන විට නායගිය ස්ථානය හඳුනාගන්නට ඇති එකම සළකුණ වන්නේ වටවල වැඩබිම ගොඩනැඟිල්ල පමණි. එදා දුම්රිය පැදවූ ජ්‍යෙෂ්ඨ රියදුරු මුතුරාමන් මහතා විශ්‍රාම යාමෙන් පසුව නාවලපිටිය ප්‍රෙද්ශයේ ජීවත්ව සිට පසුගිය 2014 වසරේදී අභාවප්‍රාප්ත වී ඇත. එසේම එකළ මෙම ප්‍රෙද්ශයේ ස්ථීර මාර්ග පරීක්ෂක ලෙස කටයුතු කර ඇති එදිරිසිංහ මහතාද - ජස්ටින් නම් එදින කාර්යයේ නියුතුව සිටි පැට්‍රොල් මන් වරයාද දැනට ජීවතුන් අතර නොමැති බව අපගේ සොයාබැලීම් වලින් තහවුරු විය


නමුත් මෙම දුම්රිය අනතුර සිදුවූ සමයේ රාජකාරිමය වශයෙන් දායක වූ කිසිවෙකු හෝ එදින එම දුම්රියේ මඟියෙකු මෙම ලිපිය දකින්නේ නම්  MegaaHike කණ්ඩායම අමතන්නට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු. එය වැළලී යන වැදගත් ඉතිහාස සළකුණක සාක්ෂියක් වීමට ඇති අනඟි අවස්ථාවක්ම වනු ඇත. 
තොරතුරු සපයාදුන් හැටන් ස්ථීර දුම්රිය මාර්ග පරීක්ෂක සුමනසිරි බුලත්සිංහල මහතාට, තාක්ෂණ ශිල්පී වටවල කොණ්ඩන් විජේකුමාර් මහතාට සහ සම්බන්ධීකරණය කළ වරුණ් දේමින්ත සහ සහයෝගය දැක්වූ මාධව කසුන්ජිත්  මහතාට ස්තූතියි.

සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ


අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

Wednesday 24 May 2017

සිල්පර කොට මවන රටා


කඳුකර ප්‍රදේශයක රේල් පාර දිගේ පයින් යනකොට - දුම්රිය මඟියෙක් ලෙස දකින සුන්දරත්වය වගේ දහ දොළොස් ගුණයක සුන්දරත්වයක් දකින්න ලැබෙන එක අනිවාර්යයි... 

පාර දෙපැත්තේ පිපෙන මල් වල ඉඳලා හාත්පස කඳුයාය දක්වා දෙනෙතින් බලන්න වගේම තෙවැනි ඇසින් දැක මතකය වෙනුවෙන් රඳවාගන්නට තිබෙන දේවල් අපමණයි.... 

හොම්බ දිග හොඳ කැමරාවක් අරගෙන නොයන නිසාත්, සංචාරක සංවිධායකයෙකු හැටියට පිරිස ගැන අවධානයෙන් ඉන්න ඕන නිසාත්, ඉස්පාසුවෙන් හොඳ ඡායාරූපයක් වෙනුවෙන් කැප වෙන්න අවස්ථාවක් මට ලැබෙන්නේ නෑ... 

ඒ නිසා බොහෝ දෙනා නොදකින රේල් පාරට ඇතිරූ සිල්පර වල තියෙන නේක රටා මගේ පුංචි ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කරන්න මෙවර HikeLanka Rail Hike චාරිකාවෙදි මම උත්සහ කළා.... 

කොන්ක්‍රීට් හෝ යකඩ සිල්පර වලට වඩා ලී සිල්පර වල එකින් එකට වෙනස් රටාව තුළ බොහොම අපූරු සිතුවම් සටහන් වෙලා තියෙනවා.... අඩි දෙකෙන් දෙකට ඇතිරෙන සිල්පර දහස් ගණනකින් හොඳම රටා ටික මේ ටික කියල සහතිකයක් දෙන්න බැරි වුණත් මෙතනත් අපූරු රටා සමූහයක් තියෙනවා.... 

පෙඳ පාසි වැවිලා, තෙල් බිංදු වැටිලා, අව්වට වේලිලා, පින්නට තෙමිලා, වැස්සට හේදෙන සිල්පර කොටන් එකින එක බැලුවහම එකකට එකක් වෙනස් රටා තියෙනවා..... එහෙම බැලුවහම මුළු රේල් පාරම කලාගාරයක් තමා.... 

හැබැයි අද මම ගිය පාර දිගේ හෙට යන ඔබට මේ සිල්පර මෙහෙමම දකින්න පුළුවන් වෙන්නේ නෑ කියන එක නම් පරම සත්‍යයක්.... 

මේ  සබැඳියෙන් 2013 දිත් සිල්පර රටා ඡායාරූප ගත කරපු මගේ පැරණි ඡායාරූප ගොනුව බලන්නත් පුළුවන්.....








































සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ


අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.