Showing posts with label වාෂ්ප දුම්රිය. Show all posts
Showing posts with label වාෂ්ප දුම්රිය. Show all posts

Thursday, 28 February 2019

අබලිව කැබලි වන්නට ගිය "වයිස්රෝයි" යළි උපන් හැටි

ලාංකීය සංචාරක දුම්රිය සංස්කෘතිය එකලු කළ  "විසුරේ " දුම්රියේ මංගල ගමන


සුද්දාගේ කාලයේ ඇරඹී, මනාව පවත්වාගෙන ගිය ශ්‍රි ලංකා දුම්රිය සේවයේ උදාරම් කාලය අවසන් වූයේ 1970 දශකයේ මුල් අවධියේය. එතෙක් මහා පරිමාණ පුද්ගලික සමාගම් සමඟ ගිවිසුම් ගතව සේවාවන් සපයමින් දේශීය ආදායමින් වැඩි ප්‍රතිශතයක් උපයාදුන් ශ්‍රී ලංකා දුම්රිය සේවය නිදහසින් පසු  නිසිලෙස  යාවත්කාලීන නොවීමේ  ආදීනව විඳිමින් මාර්ග ප්‍රවාහනය සමඟ තරඟ කරන්නට නොහැකි වීමෙන්ද,  ජනසතු කරන ලද කර්මාන්තායතන වලට සේවා සැපයිමෙන් ලැබීමට නියමිත හිඟ මුදල් ප්‍රමාණය සිමාව ඉක්මවීමෙන්ද, විවෘත ආර්ථිකය සමඟ ඇරඹි පුද්ගලික ආයතන වල නම්‍යශීලී පාරිභෝගික සේවා සැපයීම හමුවේ රජයේ නීති රෙගුලාසි වල සිරකරුවකු වෙමින්ද කළමණාකරණයේ මඟ හසර නොදකිමින් සිටි අවධියක සිදුවූ එක් යහපත් සංධිස්ථනයකට අවතීර්ණ වූ සුවිශේෂී දිනය 1986 පෙබරවාරි 02දා ය.



එදා උදෑසන 6.30 වන විට කොටුව දුම්රිය පොළ උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබිණි.  ජාතික නිදහස් උළෙලට තව දින දෙකක් ඉතිරිව තිබුණද ජාතික කොඩිද, විවිධ වර්ණයෙන් යුතු කොඩිද, ඒකාකාරී දුරින් පිහිටි කොඩි කණු වල ඉහළින් උජාරුවට ලෙලදෙමින් තිබිණ. සංචාරක මණ්ඩලයේ අලංකාර පුවරුද අතරින් පතර රඳවා තිබිණි.  1928දී  බේයර් පීකොක් සමාගමේ නිපදවුණු B1A අංක 251 අංක දරන සර් තෝමස් මේට්ලන්ඩ් නමින් විරුදාවලි ලත් වාෂ්ප එන්ජිම පෙරටුකරගත් "විසුරේ" සුඛෝපභෝගී මැදිරි තුනක්ද සහිත සුවිශේෂී දුම්රිය කොටුව දුම්රිය පොලේ තෙවැනි වේදිකාභිමුඛ මාර්ගයෙහි නවතා තිබුණේ සිය මංගල ගමන කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීම අරමණු කරගෙන වුවද එය ලාංකිය සංචාරක සේවා සපයන දුම්රිය සේවාවේ දිගු ගමනක ආරම්භය විය.


1984දී බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පැමිණි වාෂ්ප එන්ජින් ලෝලියෙකු වූ ක්ලිෆ් ජෝන්ස් නම් සංචාරකයාගේ රත්මලාන දුම්රිය වැඩබිම සංචාරයට මෙරට දුම්රිය ලෝලියෙකු වූ හේමසිරි ප්‍රනාන්දුගේ සහය පතා ජේ.එෆ් ටුවර්ස් වෙත  පැමිණි ගමන අවසන් වූයේ "Viceroy Special" සුවිශේෂී  සංචාරක දුම්රිය ව්‍යාපෘතිය ඇරඹීමෙනි. වසරකුත් මාස නවයක පමණ කාලයක් තුළ ව්‍යාපෘති වාර්තාවත් රැගෙන සංචාරක අමාත්‍යවරයාගේ සිට සංචාරක මණ්ඩලය දක්වාත්, ප්‍රවාහන අමාත්‍යවරයාගේ සිට දුම්රිය දෙපාර්තමේන්තුව, ධාවනාගාර  සහ වැඩබිම් වෙත සිය දහස් වරක් ගිය ගමනක අවසානය 1986 පෙබරවාරි 02දා නම් වූ සුවිශේෂී දිනයෙන් සනිටුහන් විය.

එම සුවිශේෂී දිනයේ එවකට දුම්රිය සාමාන්‍යාධිකරී ජී.පී.එස්. විරසුරිය මහතා ප්‍රමුඛ දුම්රිය දෙපාර්තමෙන්තුවේ ඉහළ පරිපාලන නිළධාරීන්ද, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය හා ඕලන්ද තානාපති කාර්යාල නිළධාරින්ද, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ද "Viceroy Special" දුම්රියේ මංගල ගමන වෙනුවෙන් කොටුව දුම්රියපොළ වෙත පැමිණ  සිටියහ. එවකට සංචාරක අමාත්‍යවරයා වූ ආනන්ද තිස්සද අල්විස් මහතා නොවැලක්විය හැකි හේතූන් මත මෙම අවස්ථාවට සහභාගී නොවූ නමුත් ජනාධිපතිවරයාගේ හදිසි කැඳවීමද නොතකා ප්‍රවාහන අමාත්‍යවරයා  ලෙස එම්.එච්.එම්. මොහොමඩ් මහතා මෙම අවස්ථාවට පැමිණ තිබිණි. මෙම අවස්ථාවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් කොටුව දුම්රිය ස්ථානයේ තෙවැනි වේදිකාවේ ස්ථාපිත කර තිබූ තාවකාලික කාර්යාලය තුළ "Viceroy Special"  දුම්රිය වෙනුවෙන් රුපියලක මුද්දරයක්ද නිකුත් කළ අතර මහා සංඝරත්නයේ ජය පිරිත් දේශණා මධ්‍යයේ පෙරවරු 8.37ට යෙදුණු සුබ මොහොතින් "Viceroy Special"  දුම්රිය සිය මංගල ගමන ආරම්භ කළේය. මේ අවස්ථාවට සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂ හේමසිරි ප්‍රනාන්දු මහතාද, ක්ලිෆ් ජෝන්ස් මහතාද සහභාගී වු අතර පැය කිහිපයක ගමනකින් මහනුවරට ළඟාවූ  දුම්රිය පිළිගැනීම අධ්‍යක්ෂිකා ශිලා ප්‍රනන්දු මහත්මිය සහ කළමණාකාරු අර්නසට් වේදානන්ද  විසින් සිදුකරනු ලැබීය. දුම්රිය මහනුවරට ළඟාවන අවස්ථාවේ උඩරට නර්තනාංග සහිත සංස්කෘතික විචිත්‍රාංගයක්ද සිදු කළ බව සඳහන්ය.


මෙම මංගල ගමනෙන් අනතුරුව "Viceroy Special"  දුම්රියේ කිතුගොස ලොව පුරා පැතිර ගිය අතර ක්‍රම ක්‍රමයෙන් සංචාරක දම්රිය සේවා ඇවුම් සමාගමට ලැබෙන්නට විය. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නියම කළ මසකට අවම කිලෝමීටර් දහසක ඇණවුම පූර්ණය කිරිම පළමු වසර දහය තුළ සමාගමට අසීරු අභියෙයා්ගයක් වූ නමුදු අද වන විට "Viceroy Special - 2"   "හිතාචි දුම්රිය" සහ "රේල් කාරය" යොදාගනිමින් මසකට අවමව කිලෝමීටර් 5000ක ඇණවුමක් පූර්ණය කරයි.

2017 අගෝස්තු 16දා රිවිර "කෝච්චියේ අපි" අතිරේකයේ පළවිය.

2016 වසරේ සිදුකල "වයිස්රෝයි" බදුලු සංචාරයේ කතාව මෙතැනින්

සටහන සහ තොරතුරු - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

ඡායාරූප - හේමසිරි ප්‍රනාන්දුගේ Viceroy Special කෘතියෙනි.



අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

Thursday, 18 February 2016

අඟුරු කකා වතුර බිබී වාෂ්ප දුම්රිය බදුලු ගිය හැටි

ඩීසල් එන්ජින් පෙරටු කරගෙන ඉහළටත් පහළටත් නැලවිල්ලේ ඇදෙන වත්මන් දුම්රිය ගමන්වාර අතර වසර තිහකට එපිට කාලයේ කරළියේ දස්කම් පෑ වාෂ්ප එන්ජින් දෙකක්,  පැරණි පන්නයේ මැදිරි කිහිපයක් පෙරටු කරගෙන පසුගිය පෙබරවාරි මුල් සතියේ යළි මොරටුවේ සිට බදුල්ලටත් බදුල්ලේ සිට කොළඹටත් සතියක කාලයක් පුරා වරින් වර ගමනේ යෙදුනේය.... මේ අපූරු දුම්රිය ගමන ගැන බොහෝ දෙනා අවධානය යොමුකරද්දී “MegaaHike“ කණ්ඩායමේ සාමාජිකයෝ තිදෙනෙක්ද ඒ සුන්දර අවස්ථාව ආවරණයට කඳුකරය පුරා දින ගණනාවක් මෙම දුම්රිය සමඟ ගමනේ යෙදුණහ. 

වසර 150කට පෙර මෙරට දුම්රිය ගමන ඇරඹූණේ වාෂ්ප එන්ජිමකිනි. ඒ රෝද අටකින් සමන්විත අඟල් 16.22 ප්‍රමාණයේ සිලින්ඩර් සහිත එංගලන්තයේ ස්ටීවන්සන් සමාගමේ නිෂ්පාදිත “ලියෝ පෝල්ඩ්“ නැමැති එන්ජිමෙනි.1950 දශකයෙන් පසු ඩීසල් එන්ජින් මෙරට දුම්රිය සේවයට එක් කරන තුරු සමස්ථ දුම්රිය සේවා පද්ධතියම ආවරණය කළේ වාෂ්ප එන්ජින් වලිනි.මෙරට සංස්කෘතිය සහ සාහිත්‍යයට පවා එක්වූ “අඟුරු කකා වතුර බිවු“ වාෂ්ප දුම්රිය එන්ජින් ධාවනය1970න් පසු කාළයේ  සාමාන්‍ය මෙහෙයුම් සඳහා භාවිතා නොවූවද, ලෝකයේ ජනප්‍රිය සංචාරක අංගයක් වන "Heritage Railway Tourisam" ලෝලීන් වෙනුවෙන් 1980 දශකයෙන් පසු වරින් වර ධාවනය කෙරිණි. 

අදවන විට බොහෝ දියුණ රටවල ක්‍රියාකාරී නැති ටැබ්ලට් ක්‍රමය, සැමෆෝ සංඥා ක්‍රමය ආදියත් , ධාවන තත්වයේ පවතින වාෂ්ප එන්ජින් පැවතීමත්, ක්‍රියාකාරී පටු ආමාන සෙන්ටිනල් (Sentinel) රථයක් සතුවීමත් ආදී කරුණූ නිසා විදෙස් දුම්රිය ලෝලීන් මෙරට සංචාර වලට වැඩි කැමැත්තක් දක්වයි. මේ නිසාම ලෝකප්‍රකට ජර්මනියේ farrail සමාගම මඟින් සහභාගී වන්නෙක්ගෙන් බ්‍රිතාන්‍ය පවුම් 2570ක් හෙවත් ලාංකීය රුපියල් 536,000/-ක් අයකර සතියක කාළයක් පුරා දුම්රිය සංචාරයක් සංවිධානය කළේ මෙරට ප්‍රකට සංචාරක සමාගමක් වන JFටුවර්ස් සමඟ ඒකාබද්ධ වෙමිනි. 



දැනටද ධාවන මට්ටමේ ඇති වාෂ්ප එන්ජින් තුනක් ලංකා දුම්රිය සේවය සතුව ඇත. ඒ අංක 251B1A(තෝමස් මේට්ලන්ඩ්) /213B2B (වයිස්රෝයි)දරණ බේයර් පීකොක් සමාගමේ නිෂ්පාදනය කොට,  1928 ලංකාවට ආනයනය කළ එන්ජින් දෙකක් සහ ස්ටීවන්සන් සමාගම නිෂ්පාදනය කළ අංක 340 B1A  දරණ1948 දී මෙරටට ආනයනය කළ ෆෙඩ්‍රික් නෝර්ත් දුම්රිය එන්ජිම වශයෙනි. මින් 213 සහ 340 එන්ජින් මෙම සුවිශේෂි සංචාරය සඳහා දායක වූ අතර කඳුකරයේ ධාවනයේදී ඇතිවිය හැකි බලපෑම් අවම කර අවශ්‍ය බලය ලබාදීමට M5 -782 එන්ජිමද යොදාගැණිනි. ජනවාරි මස 29 දින සංචාරය අරඹා ලංකාවට පැමිණි මෙම සංචාරක කණ්ඩායමට31දා සිය පළමු දුම්රිය ගමන යොදාගත්තේ කොළඹට තදාසන්න ප්‍රෙද්ශ වලය. ඒ සඳහා අංක 340 B1A  එන්ජිම භාවිතා විය. පසුදින සිට ආරම්භ වුණු සංචාරයට 213B2B දරණ එන්ජිම භාවිතා විය. එය සාමාන්‍ය භාණ්ඩ දුම්රියක ආකෘතියකට සකසා CGSවැගන් 2ක්,  BCGS වැගන් 1ක්,  BHOවැගන් 1ක්,   BGT බවුසර් 1ක්,  BV මැදිරි 2ක්ද අමුණා සකස් කොට තිබිණි. සියළු වැගන් විශේෂයෙන් ආනයනය කළ ගල් අඟුරු පුරවා තිබුණේ දැන් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ගල් අඟුරු සංචිත නොමැති බැවිනි. එසේම සමස්ථ ගමන සඳහාම වත්මන් දුම්රියේ දක්නට නොලැබෙන හෙඩ් ෆයර්මන්, අන්ඩර් ෆයර්මන් ඇතුළුව කාර්ය මණ්ඩලයද කොළඹින් එක් කරගෙන තිබිණි. රියදුරන් ලෙස කටයුතු කර තිබුණේ ඩබ්.ආර්.යූ. රණසිංහ, කේ.එම්.පී.රොඩ්‍රිගෝ යන මහත්වරු බව මාධ්‍ය වාර්තා වල සඳහන් විය. 

 ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල් වලින් පැමිණි ඡායාරූප ශිල්පීන් සහිත මෙම සංචාරක කණ්ඩායම   දින කිහිපයක් තුළ කොටස් වශයෙන් බඳුල්ලට ගිය ගමනේ අතරමඟ හමුවන සෑම සුවිශේෂී තැනකදීම ඡායාරූප ගනිමින් සිය ගමනේ අරමුණූ උපරිමව ඉටුකොට ගත්හ. ඔවුන් යළි කොළඹට පැමිණ ගමන අවසන් කළේ පෙබරවාරි 7දාය. ආරුක්කු නවයේ පාළම, දෙමෝදර, ඇල්ල ආදී තැන්වලදී මෙම දුම්රිය නැරඹීමට පැමිණි අවශේෂ සංචාරකයින්ගෙන් මෙම කණ්ඩායමට යම් යම් බාධා මතුවූවද ඔවුන් සුහද ශීලිව කටයුතු කරමින්, සාමාන්‍ය දුම්රිය ගමන් වලට අවස්ථාව ලබාදෙමින් සිය කටයුතු වල යෙදුණු බව නිරික්ෂනය කළ හැකි විය.

දුම්රිය ලෝලීන් සීමිත පිරිසකට හැරුණු කොට ලාංකීය අපට මෙම සංචාරය ගැන ලාංකීය සමාජයට සුවිශේෂත්වයක් නොමැති වුවද ඉපැරණි දුම්රිය සංස්කාතියක් සහ සම්ප්‍රදායයන් පවතින රටක් ලෙස ලෝක "Heritage Railway Tourisam" තුළ ලංකාවට ඇති පිළිගැනිම විශාලය. තවත් නොබෝ දිනකින් මෙම සංචාරක පිරිසේ අත්දැකීම් ඔවුන්ගේ සමාජ ජාල පිටු වල සටහන් තබද්දී මෙවැනි සංචාර සඳහා වන විමසීම් තව තවත් වැඩි විය හැක. මේ නිසා JFටුවර්ස් වැනි පුද්ගලික ආයතන සමඟ තව තවත් සම්බන්ධ වෙමින් ඔවුන් මැදිහත් කරගෙන හෝ නානුඔය නුවරඑළිය පටු දුම්රිය මාර්ගය යලි ඉදිකර  - පේරාදෙණිය - බදුල්ල, මහව ට එපිට ග්‍රාමිය දුම්රිය මාර්ගය යොදාගෙන දුම්රිය සංචාරක සංස්කෘතියක් බිහිකර ආදායම් උපදවා ගන්නට දුම්රිය දෙපාර්තමේන්තුව උනන්දු විය යුතුය. මේ අපූර්ව දුම්රිය ගමන දුම්රිය බළධාරීන්ට පෙන්වා දුන්නේ ඒ යථාර්තයයි. 

මෙම දුම්රිය ගමන ආවරණයට ස්වාධීනව සහභාගී වූ  “MegaaHike“ කණ්ඩායමේ සාමාජිකයින්ට අවස්ථාව ලබාදුන් දුම්රිය කාර්ය මණ්ඩලයටද, JFටුවර්ස්  සමාගමේ පිරිස් වලටද ස්තූතිවන්ත වෙමු. ඡායාරූප සැපයූ වරුණ් දේමින්ත, ලොවිඳු චතුරංග, දමින්ද ප්‍රාසාංගිකට ද ස්තූතියි! 

සටහන සහ ඡායාරූප - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ 




මෙම ලිපිය 2016/02/18 දින රිවිර පුවත්පතේ පළවිය. ඒ ලිපිය මෙතැනින් බලන්න.

නිබඳ රට තොට සරන - සරල පිය සටහන් උරුම ගවේශකයින්ගේ එකමුතුව අපේ MegaaHike ෆේස්බුක් සමූහය සමඟ එක්වන්නට කැමැති ඔබට දැන් ඒ අවස්ථාව විවෘතයි. මෙතැනින් පිවිසෙන්න.