Showing posts with label Ambewela. Show all posts
Showing posts with label Ambewela. Show all posts

Saturday, 26 February 2022

හුදකළා දුම්රිය මඟේ ඉදිවුණු පුදබිමක වගතුග

 

උඩරට මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර පිහිටි කෝවිලේ කතාව

කඳුකර මාර්ගයේ බොහෝ දුම්රිය ගමන් වල යෙදී තිබුණද, මේ සුවිශේෂී පාරිසරික කලාපයේදී  එක් බිංගෙයකින් ඊළඟ බිංගෙයට පිවිසෙන හැටි දැකගන්නට වුවමනාවෙන් පමණක් යන බොහෝ අතීත දුම්රිය ගමන් වලදී එම කෝවිල දැකගන්නට මගේ දෑස් පිං කර තිබුණේ නැත. මේ කෝවිල ගැන මට මුලින්ම විස්තර කීවේ 2014-2016 කාලසීමාවේ ඔහිය දුම්රිය මාර්ග කොට්ඨාශයේ අධික්ෂණ කළමනාකරු ලෙස කටයුතු කළ ඇන්ටන් විරෝෂාන් වික්‍රමරත්න මහතාය. ඔහු දැනට ප්‍රධාන මාර්ගයේ මධ්‍යම කොට්ඨාශයේ ප්‍රධාන දුම්රිය මාර්ග අධීක්ෂණ කළමණාකරු ලෙස කටයුතු කරයි. 

ඔහු විසින් ඒ ස්ථානයේ පිහිටා තිබූ, 1890 දශකයට අයත් වල්වැදී තිබූ පැරණි සුවිශේෂී සොහොනක් ගැන කරුණු දැන හැඳින, එම කතාව මාධ්‍යයන් වෙත හෙළි කරන අවස්ථාවේ මෙම කෝවිල ගැනද විස්තර මා වෙත කීවේය. ඔහිය ඉදල්ගස්හින්න අතර මාර්ග කොටසේ  අංක 24 බිංගෙයත් අංක 25 බිංගෙයත් අතර අංක 24 බිංගෙයට ආසන්නව දකුණු පැත්තේ උස් ෆයිනස් වනාන්නතර බිමක දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි මෙම කෝවිල කෙතරම් ඉපැරණිදැයි කීමට සාක්ෂය නැතත්, පවතින විශ්වාසයන් අනුව එම කෝවිල දුම්රිය මාර්ගය තරම්ම පැරණියැයි කිව හැකිය. 

Ohiya Kovil


දුම්රිය සේවකයින් විසින් පුදපූජා පවත්වන්නට හුරු වුණු ආගමික ස්ථාන, කුඩා සුරුවම්,  දේවරූප ගණනාවක් දුම්රිය මාර්ග චාරිකා වලදී දැකගන්නට ලැබී ඇති අතර ඒ්වායෙන් බොහොමයක් පසුකාළීනව  සාමාන්‍ය ජනතාවගේ පුදපූජා පවත්වන හෝ ඇදහිළි ස්ථාන බවට දියුණුවට පත්ව තිබේ. මරදානේ අතීත දකුණු සංඥා කුළුණ පිහිටි ස්ථානයේ ගොඩනැඟී  පසුකාළීනව ජනාකීර්ණ වූ සුප්‍රකට ශ්‍රී කෛලේශ්වරම් කෝවිල ද හින්දු සම්භවයක් සහිත දුම්රිය සේවකයින්ගේ මැදිහත්වීමෙන් ගොඩනැඟී සංවර්ධනය වූයේයැයි විශ්වාස කරන දුම්රිය මාර්ග සංස්කෘතිය සමඟ බැඳුණු පූජනීය ස්ථානයකි. 

Sri Kaileshwaram Kovil Maradana



නානුඔයට ආසන්නව දුම්රිය මඟෙහි තේ වත්තක පිහිටි කතෝලික සුරුවමද,  අංක 18 බිංගෙය ආසන්නයේ ඇති බුදුමැදුර සහ කතරගම දේවාලයද, ඉදල්ගස්හින්නට ආසන්නව දුම්රිය මාර්ගය ආසන්නයේ අලුතෙන් ගොඩනඟා ඇති කුඩා චෛත්‍යයද, අංක 14 බිංගෙය ආසන්නයේ සහ නාවලපිටිය සේලම් පාලම අසළ කුඩා කුඩා කෝවිලද මෙළෙස වරින් වර සමයයන් වල දුම්රිය මාර්ගය ආශ්‍රිතව දුම්රිය මාර්ග සේවකයින් විසින් ගොඩනැඟූ  පුදපූජා ස්ථානයන්ය. තවත් මෙවැනි චූල පූජනීය ස්ථාන දුම්රිය මාර්ග කම්කරුවන්ගේ වුවමනාව මත ගොඩනැඟී පවත්වාගෙන යනවා වන්නට පුළුවන. 

Small Buddhist Pagoda - Between Ohiya Idalgashinna

Small Kovil Near Hatton

Altar Near NanuOya



මෙවැනි චූල සම්ප්‍රදායයන්, මහා සම්ප්‍රදායයන් බවට පත්කිරීමට කිසිදු විටෙක උත්සාහ නොකළ යුතු අතර මෙම ලිපියෙන් උත්සහ දරණුයේ එවැනි සම්ප්‍රදායයන් බිහිවීමට අදාළ කාරණා සහ ඒවායේ පවතින වර්තමාන සහ අතීත සම්ප්‍රදායයන් ගැන අවබෝධයක් ලබාදීමට උත්සහ ගැනීමක් පමණි. මේ ආකාරයේ ඇදහිලි සහ විශ්වාස ලංකාවට පමණක් උරුම වූ ඒවා නොවන අතර, යාබද ඉන්දියාවේද, වෙනත් පෙරදිග සහ අපරදිග රටවලද ඔවුනගේ රටට සහ ආගමට අදාළව මෙවැනි "සංහිඳ" ඉදිව තිබෙන ආකාරය හඳුනාගත හැකිය.

Old tunnel and altar on the railwat near Diakopto, Greece

ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගය වන උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මඟියෙකුට දැනෙන සුන්දරත්වය දුම්රිය මාර්ගයේ සේවය කරන මාර්ග අංශයේ සේවකයෙකුට විඳින්නට ඉස්පාසුවක් ඇත්තේ නැත. මඟියෙකුට පවා කඳුකර දුම්රිය මඟේ දැනෙන සුන්දරත්වය පරයා ගුප්ත, හුදකළා හැඟීම් මතුවන දුම්රිය මාර්ග කොටස ඇරඹෙන්නේ පට්ටිපොළ පසුකොට බදුල්ල දෙසට පල්ලම් බසින්නට පටන්ගන්නා තැන සිටය. එම ගුප්ත මාර්ග කොටස අවසන් වන්නේ හපුතලේ දුම්රියපොළට මදක් මෙපිටින් පිහිටි GLANORRE වතු වේදිකාව අසළිනි. ස්ථාන දෙක තුනකදී හැරෙන්නට මිනිස් පහසින් බෙහෙවින්ම ඈත්ව පිහිටි මේ දුම්රිය මාර්ග කොටසේ දුර දළ වශයෙන් කිලෝමීටර් 20ක් පමණ වේ.  ඒ අතරින් ද, වඩාත්ම ගුප්ත, හුදකළා සහ අනතුරුදායකම දුම්රිය මාර්ග කොටස ලෙස සැළකිය හැක්කේ ඔහිය දුම්රිය පොළේ සිට ඉදල්ගස්හින්න දක්වා වන කිලෝමීටර් 14ක දුම්රිය මාර්ග කොටසයි. ගල්බොඩ සිට වටවල දක්වා මාර්ග කොටසද ඉහතින් දැක්වූ මාර්ග කොටසට වඩා අඩු අවදානමක්, ගුප්ත බවක් සහ අනාරක්ෂිත හැඟීමක් ඇති කරන දුම්රිය මාර්ග කොටසක් ලෙස හැඳින්විය හැකිය. 



1880 දශකයේ මෙම කලාපයේ දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ වූ සමයේ සිට  1980 දශකය පසුවන තුරුම මෙම මාර්ග කොටසේ බහුලව සේවය කළෝ ඉන්දියානු සම්භවයක් සහිත දමිළ සේවකයින් සහ ඔවුනගේ දරු පරම්පරාවන්ය. පසුකාළීනව සිදුවූ විවෘත බඳවාගැනීම් සමඟ දැනට මාර්ග අංශයේ රාජකාරී වල සිංහල සේවකයින් බහුල වුවද, තවමත් වතු දෙමළ සම්භවයක් සහ දකුණු ඉන්දියානු අක්මුල් සහිත යැයි පැහැදිළිව හඳුනාගත හැකි දෙමළ - සිංහල මිශ්‍ර සේවකයින්ද මෙම මාර්ග කොට්ඨාශ වලදී නිරන්තරව හමුවේ. ඒ් නිසා බෞද්ධ ඇදහිළි වලට වඩා ප්‍රබලව හින්දු ඇදහිලි කෙරෙහි යොමුවීමේ සංස්කෘතියක් මේ කළාපයේදී හඳුනාගත හැකිය. 

ගතවූ වසර සියයකට අධික කාලයේදී දුම්රියට සහ දුම්රිය හා බැඳුණු අනතුරුවලට අමතරව, මෙම කළාපයේ  දුම්රිය මාර්ග කම්කරුවන්ගේ ජීවිත බිළිගත් සෙසු සාධකයන් ගණනාවකි. නිරන්තරව උකුසු ප්‍රහාරයට ලක්වන දෙබර කූඩු, බමර කූඩු බහුලව පිහිටි  මෙම කළාපයේ පෙට්රල්මන් රාජකාරියේ, ප්ලේට්ස්මන් රාජකාරියේ, සාවිකරු රාජකාරියේ යෙදෙමින් හුදකළාව ඇවිද යන මාර්ග සේවකයින්ට වසරකදී දෙතුන් වරක්වත් දෙබරුන් සහ බමරුන් මාරාන්තික අත්දැකීම් අත්කර දී තිබේ.  සීතළත් තෙතත් මුසුවූ තණකොළ යහමින් වැවෙන, දුම්රිය මාර්ගයේ සිල්පර අතර බිම කුණකටුවන්ගේ පාරාදීසයකි. කොටි පෙට්රල් ලෙසින් හඳුන්වන රාත්‍රී මාර්ග පරීක්ෂණ රාජකාරිය සම්පූර්ණ කළ යුත්තේ දිවියන්ගේ ගොදුරු බවට පත්වීමේ අවධානම දරාගනිමිනි. රංචු වශයෙන් සැරිසරන වල් ඌරන්ද රාත්‍රි රාජකාරියේදී පට්ටිපොළත්,  ඔහියත්, ඉදල්ගස්හින්නත්  අතර ඇවිද යන දුම්රිය මාර්ග සේවකයින්ගේ ජීවිත අනතුරට ලක්කරන සෙසු සාධකයන්ය. ඉහත අනතුරු වලට අමතරව හදිසි හෘදයාබාධයක්/ ශීතල නිසා හට ගන්නා ආඝාතයක් නොවැළඳුනේ නම් රාජකාරිය අවසානයේ  ආසන්නතම දුම්රිය පොළට ළඟාවනතුරු මිනිස් පුළුටක් හමු නොවන මහ වනයේ දුම්රිය මාර්ග අංශයේ ඉහත දැක්වූ සේවකයින්ට සිය ජීවිත භාරදෙන්නට සිදුව ඇත්තේ තමන් අදහන දෙවියන්ට හෝ ආගමික ශාස්තෘ වරයාට පමණි. 


මේ මහ වනයේ දුම්රිය පාරක් අද්දර කෝවිලක්/ ඇදහිලි ස්ථානයන් ඉදිවූයේ ඇයිදැයි කිසිවෙකු අසන්නේ නම් ‌ඒ වෙනුවෙන් දිය හැකි හොඳම පිළිතුර ඉහත ඡේදයේ ඇතුළත්ව ඇත.  උඩරට දුම්රිය මාර්ගය නොවෙනස්ව තව සියවසක් ක්‍රියාත්මක වන්නේ නම් එම  සියවසක කාලයටම මේ කළාපය සම්බන්ධයෙන් පවතින තත්වය පොදු අත්දැකීමක් වනු ඇත්තේ තංගමලේ අභය භූමියේත්, හෝටර්න් තැන්නේත් සීමා මායිම් තවදුරටත් එළෙසම රැකෙන්නේ නම් පමණි. එම සීමාවන් පටුවූ දිනෙක මෙම දුම්රිය මාර්ගය දෙපස වගාබිම් නිර්මාණය වී සෙසු ප්‍රදේශවල මෙන්ම කෘෂිකාර්මික හෝ ජනාකීර්ණ කලාපයක් හෝ බිහිවනු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල දුම්රිය මාර්ග රාජකාරියේ නියුතු සේවකයින් සිය රාජකාරියේ පවතින දුෂ්කර භාවයන් නිසාම, ඔවුන්ටම ආවේණික වූ උප සංස්කාතියක් නිර්මාණය කර පවත්වාගෙන යන ආකාරයක් හඳුනාගත හැකිය. ඔවුනගේ කණ්ඩායම් හැඟීම, එකමුතු බව රාජකාරියේදීත් ඉන් පිටතදීත් ශක්තිමත්ව පවතිනු හඳුනාගත හැක්කේ ඔවුනගේ රැකියාවේ පවතින අභියෝගයන් ජයගැනීමට එය අත්‍යාවශ්‍යම කාරණයක් විම නිසා වන්නට ඇත. ඒනිසාම දුෂ්කර ම කළාපයක මාර්ග නඩත්තු කටයුතු වල යෙදෙන දුම්රිය මාර්ග සේවකයින් සිය රාජකාරියේ අභියෝග ජයගැනීමට ඔවුනටම සුවිශේෂ ඇදහිළි සහ විශ්වාස වලට යොමුවූ ආකාරයක්ද හඳුනාගත හැකිය. මෙම කෝවිලද නිර්මාණය වී ඇත්තේ එවැනි ඇදහිළි සහ විශ්වාසයන් මතය. 



සිය කොට්ඨාශවල සේවකයින් බහුතරයකගේ මැදිහත් වීම් මත ඒවුන් විසින් පවත්වන පුදපූජාවන් වෙනස් වේ. බෞද්ධයින් බහුලව වෙසෙන පැති වලදී  පිරිත් පිංකම්ද, රජරට සහ වන්නි කළාපයන්හිදී කිරි ඉතිරවීම් ද, හින්දු සහ කතෝළික සේවකයින් බහුල ප්‍රදේශ වල දේව පූජාවන් ද වරින් වර සංවිධානය වීම් හඳුනාගත හැකි අතර ඔහිය සහ ඉදල්ගස්හින්න අතර පිහිටි මෙම සුවිශේෂි කෝවිලේද වාර්ෂික ආශිර්වාද දේව පූජාවක් සංවිධානය වේ. 

වසර ගණනාවක අතීතයේ සිට සෑම ජනවාරි මසකම මුල් දෙසතියේ දිනයක පවත්වාගෙන එනු ලබන මෙම විශේෂ පූජාව සෙසු දුම්රිය මාර්ග අංශ  සේවකයින් පවත්වන පුද පූජා වලට සාපේක්ෂව වඩාත් සංවිධානාත්මක ස්වරුපයක් ගන්නා අතර එය දැන් ඔහිය කළාපයේ මාර්ග අංශ සේවකයින්ගේ ස්ථිර වාර්ෂික තේවාවක් බවට පත්ව තිබේ. මෙය දැක බලාගැනීමේ වුවමනාවක් පැවැතියද, මෙම උත්සවය සංවිධානය කරන මාර්ග සේවකයින් සමඟ එම පූජාව පැවැත්වෙන දිනය කළින් දැනගැනීමේ හැකියාව ඔහිය ආශ්‍රිතව පවතින දුර්වල ජංගම දුරකථන සංඥාවන් වල  බාධාවන් නිසා වසරින් වසරම කල්ගිය අතර, අඛණ්ඩව තෙවසරක්ම උත්සහ දරා අවසානයේ එය සාර්ථක වූයේ 2022 මෙම වසරේදීය.

වාර්ෂිකව පැවැත්වෙන "දුම්රිය මාර්ග කම්කරුවන්"ට දේවාශිර්වාදය ලබාදෙන, මාර්ග අංශයේ කම්කරුවන්ගේ කොඩි සහ උපාංග ආශිර්වාදයට ලක්කෙරෙන, ඩක්කු ආසිරි ගන්වන මෙම විශේෂ පූජාව සංවිධානය වන ආකාරය, එය  පැවැත්වෙන ආකාරය සහ එහි ඉතිහාස කතාව ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. 

සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ


ඡායාරූප සපයා දුන් සියළු දෙනාට ස්තූතියි!

අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

Saturday, 18 July 2015

ලංකාවේ උසම දුම්රියපොළ අතර පාගමනින් සංචාරයක -01 කොටස

කොළඹ සිට අඹේවෙලට... අඹේවෙල සිට පාගමනින් පට්ටිපොලට


සති ගණනක් පුරා කොළඹ වැසියන්ගේ ගතට වෙහෙස ගෙන දුන් දැඩි අව් රශ්මිය පහවෙලා ගිහින් වැහි වැටෙන්න පටන් අරන්..මාසයක විතර ඉඳලා කරපු සැලසුම වතුරෙ ගහගෙන යන්න නොදී මොර සූරන වැස්සට යටින්  ගමනට නියමිත හැම දෙනාම මරදාන දුම්රිය පොළට ආවේ රාත්‍රී තැපැල් දුම්රිය අල්ලගන්න. සිකුරාදා දවස ටිකක් විතර සෙනඟ වැඩි දවසක් වුණත් දුම්රිය නවත්තන මොහොත වන විට ගොඩක් දෙනා දුම්රියට ගොඩ වෙන්න තෙරපුණේ නැත්තේ නොනවතින වැස්ස බොහෝ දෙනාගේ කටයුතු අඩාල කරලා තිබ්බ නිසා වෙන්න ඇති. විනාඩි දහයක පහළොවක පමාවෙන් පස්සේ  කිටි කිටියේ තදවෙන්න තරමට දුම්රියට නැඟුණු පිරිසත් සමඟ බදුල්ල ට යන දුම්රියේ ඉදිරියට ඇදුණු අපි යළි යළි ඇහැරෙන කුක්කුට නිද්‍රාවන් කිහිපයක සුවයකින් පස්සේ අළුයම පහ විතර වෙද්දි අඹේවෙලට ළඟාවුණා..... දුම්රිය ස්ථානාධිපතිතුමාගේ අවසරයෙන් විවේක කාමරයට වෙලා බිමට එළිය වැටෙනකම් ගතකරපු අපි උදේ හයට විතර දවසේ වැඩ ආරම්භ කළා.                 
                                          
ලංකාවේ දුම්රිය ධාවනය වන සීමාවේ ඉහළින්ම පිහිටි දුම්රිය ස්ථාන අතර දුම්රිය පාර දිගේ ගවේශන චාරිකාවක් යාම තමයි අපේ අරමුණ වුණේ..... ඒ අනුව අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට පට්ටිපොළ ඔහිය පහුකරගෙන ඉදල්ගස්හින්නට  දුම්රිය පාර දිගේ පයින්ම යාම තමයි අපේ බලාපොරොත්තුව..... මේ දුරෙන් වැඩි කොටසක් වැටී තිබෙන්නේ  හෝටන්තැන්න ජාතික වනෝද්‍යාන සිමාව දිගේ..... දිවියා සහ ගෝනා කියන දුර්ලභ සිව්පා සතුන්ට අමතරව නෙක නෙක සමනළුන්, පක්ෂීන් ගැවසෙන සුන්දර පරිසර පද්ධතියක යන මේ ගමනෙදි මෙරට තිබෙන සමස්ථ දුම්රිය බිංගෙවල් සංඛ්‍යාවෙන් 1/3ක්ම පසුකරන්නටත් නියමිතයි.... 

උදෑසනින් බදුල්ලේ සිට කොළඹ බලා යන දුම්රියෙන් අප සමඟ එක්වන්නට තවත් සාමාජිකයින් දෙදෙනෙකු එනතුරු මීදුම් වළාවන් පළවා හරින ළාහිරු එළියේ ඔබ මොබ ඇවිදිමින් ගත කරන අපට දුම්රිය මාර්ගයේ වැවී 
තිබෙන  අපූරු පැළැටියක් දක්නට ලැබුණා.... සාමාන්‍ය ස්ට්‍රෝෙබරි ගෙඩියකට පෙනුමෙන් සමාන - එහෙත් ප්‍රමාණයෙන් කුඩා මේ ගෙඩි ගොටුකොළ සේ වැල් අදෙන පැළෑටියක තැනින් තැන ඵලගෙන තිබුණා.... 

“මේ ස්ට්‍රොබෙරි ද?“ කෙනෙක් ඇහුවා....



“නෑ මේ වල් ස්ට්‍රොබෙරි - මේවා මිනිස්සු කන්නේ නෑ - ඒ වුණාට සත්තු - කුරුල්ලෝ නම් කනවා“ පිළිවදන් දුන්නේ අපේ කණ්ඩායමේ චමත් 

Fragaria virginiana කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වල් ස්ට්‍රොබරි කඳුකරයේ බොහොම සුලබ පැලෑටියක් බව දුම්රිය පොළ අසළ තේ කඩයේ ජයසිංහ මුදලාලි පසුව අප හා පැවසුවා.....  අතීතයේ
නම් මේවා බෙහෙතට යොදාගත් බව සඳහන් වුණත් වල් දෙල්- වල් අල - වල් පැල සේම වල් ස්ට්‍රොබෙරිත් දැන් භාවිතයෙන් අයින් වෙලා.  

දුම්රිය ස්ථානය අසළ වැවී තිබූ වල් ස්ට්‍රොබෙරි ගොමුව පසුකර ප්‍රධාන පාර දෙසට  ගිය අපි දැනට අළුත් වැඩියා කර ඇති පසුගිය 2014 දෙසැම්බර් මස නාය ගිය දුම්රිය මාර්ග කොටස බැලීමටද අමතක කළේ නෑ....  අඩි 30ක් පමණ ගැඹූරට අඩි 50ක් පමණ දුරට සේදී ගිය මෙම ස්ථානය දැන් ගල් කුට්ටි පසෙකින් අතුරමින් පස් පුරවා ශක්තිමත්ව සකස් කරනවා..... උදේ හතට වගේ වුණත් වැඩකරන සේවකයින් එතැනට ඇවිත් වැඩ පටන් ගන්න සූදානම් වෙලා තිබුනා... මෙයාලා දෙපාර්තමේන්තු සේවකයින් නොවේ... කොන්ත්‍රාත් සේවකයින්... 



“මෙහෙම වුණේ ඇයි ?“ 

නුවරඑළියට යන උදේ බස් එක එනකම් අඹේවෙල කඩමණ්ඩියේ හිටපු වයසක මාමා කෙනෙක්ගෙන් අපි එහෙම ඇහුවා.... මාමා නම් දෙමළ. ඒත් කැඩිච්ච සිංහලෙන් මේ ටික කිව්වා....

“පුතා සුද්දා කඳු කපල කෝච්චිය උඩහට හැදුවට මෙහෙට වහින විදිය, කන්දෙන් පහළට වතුර ගලන විදිය ගැන හොඳ අවධානයෙන් තමා වැඩේ කළේ.... ඒ වෙනුවෙන් කාණු හැදුවා... වැටි බැන්දා....බෝක්කු බැන්දා...  ඒත් අපේ අය වැඩේ බාරගත්තාට පස්සේ පාර ගැන විතරයි බැලුවේ..... අර අතුරු ඉදිකිරීම් ගැන බැලුවේ නෑ.... ඒ නිසා තමයි මේ දේවල් වුණේ......“

මාමාට දෙන්න අපි ගාව පිළිතුරක් නොතිබුණත් පැහුණු කෙසින් යුතු ඒ මිනිසාගේ දැක හුරුවෙන්, දැන හුරුවෙන්, කළ හුරුවෙන් පැවැසූ දේ බොරු යැයි බැහැර කරන්න හිතට ඉස්පාසුවක් ලැබුණෙත් නෑ...

දුම්රිය හරස් මාර්ගයෙන් පහළට ගමන් කරන හෝටන් තැන්න මාර්ගයේ ඉදිරියට ගිය අපි ලොරි තට්ටුවක හදපු පුංචි හෝටලයකට ගොඩවෙලා උණු උණු පරිප්පු හොදි සමඟ පාන් අපේ පාතරසය කර ගත්තේ දිගු පා ගමනකට අවශ්‍ය ශක්තිය හා ජවය ලබාගන්න. (ඇත්තටම ඒ හෝටලේ පාන් හැර කන්න වෙන යමක් කෑමට තිබුණෙ නෑ.) අපි පාන් කන අතර තුරේ බදුල්ලේ සිට කොළඹ යන උදෑසන උඩරට මැණිකේ දුම්රියත් අඹේවෙලට ළඟා වුණා.... හපුතලේ සිට අපේ වැඩසටහනට එක්වන සොයුරන් දෙදෙනාත් ඒ දුම්රියේ ඇවිත් අපිත් සමඟම උදෑසන ආහාරය ගන්න එකතු වුණා.... කෑමෙන් පස්සේ හොඳ ඝණකමින් හැදුනු කෝපි
කෝප්පයකින්  ඇඟ උණුසුම් කර ගත් අපි අපේ වැඩසටහන ආරම්භ කළා.... 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළාපය භාර දිස්ත්‍රික් ඉංජිනේරුවරයාව දැනුවත් කර තිබුණු අපි පට්ටිපොළ හා ඔහිය කළාප භාර දුම්රිය ස්ථීර මාර්ග පරීක්ෂවරුන්ගේ අවසරය මෙම දුම්රිය පාගමන වෙනුවෙන් ලබාගත්තා..ලංකාව තුළ දුම්රිය පාර දිගේ පාගමනින් යාම නීතිවිරෝධි වැඩක් වුණත්..... ලෝකයේ බොහෝ සුන්දර දුම්රිය මාර්ග ප්‍රෙද්ශ වල පාගමනින් සංචාරයේ යෙදෙන දුම්රිය ලෝලීන් නම් සුලබයි. අපේ රටේ දුම්රිය මාර්ග වලත් පාගමන් යන දෙස් විදෙස් දුම්රිය ලෝලීන් ගණනාවක් ඉන්නවා....නමුත් අපේ වැඩසටහන නම් දුම්රිය මාර්ගයේ පාගමනින් යන අතරම මේ මාර්ගයේ සහ දුම්රිය සේවයේ සුවිශේෂතා අධ්‍යයනය කිරීමත් ඇතුළත් වුණා.... ඒ වෙනුවෙන් රටේ විවිධ ප්‍රෙද්ශවලින් එකතු වුණු තරුණ ජවයෙන් පිරි සාමාජිකයින් එකොළොස් දෙනෙකු අපිත් සමඟ සිටියා..... 

අඹේවෙල දුම්රිය ස්ථානය කොළඹ ඉඳන් කිලෝඹීටර් 221.5ක් දුරින් තමා පිහිටා තියෙන්නේ..... මේ මාර්ගයේ දෛනිකව ගමන් කරන සියළු දුම්රියයන් නවත්වන ප්‍රධාන දුම්රිය පොළක් වෙන අඹේවෙල දුම්රිය පොළ අතුරු මාර්ග කිහිපයකින්ද සමන්විත, පහසුකම් සහිත දුම්රියපොළක්.... අතහැර දමන ලද බඩු ගබඩා ගොඩනැඟිල්ලක්ද දුම්රිය පොළ හා සම්බන්ධයි.... අඹේවෙල දුම්රිය පොළ අසළම මිල්කෝ කිරි සැකසුම් කම්හල සහ තවත් කිරි ගොවිපොළවල් දෙකක ට පිවිසුම් මාර්ග සහිතයි. ලංකාවේ දුම්රිය පොළ අතරින් දෙවැනියට උසින් පිහිටි දුම්රිය පොළ තමයි අඹේවෙල... උස මුහුදු මට්ටමේ සිට මීටර 1827.3ක්.  නුවරඑළියේ මීපිළිමාන හරහා හෝටන් තැන්නට යන මාර්ගයේ එල්ජීන් දිය ඇල්ලටත් ආසන්නයේ තමා මේ දුම්රිය පොළ පිහිටා තිබෙන්නේ.... .

අඹේවෙල ඉඳලා පා ගමනින් යන අපිට හමුවන මීළඟ දුම්රිය නැවැතුම් පොළ පට්ටිපොළ... ඒ තවත් කිලෝමීටර 3.5කින්. මේ මඟ දෙපස තියෙන්නේ සරුසාර එළවළු වතු.... ඒ එළවළු වතු වලට ඔබ්බෙන් රතුම රතු  මහරත්මල් පුරෝගත්තු ගස් යායක මායිමෙන් හෝටන්තැන්න ජාතික උද්‍යානයේ සිමාව සටහන් වෙලා තිබුණා... නුවරඑළියේ හෝ කොළඹ වෙසෙන පුද්ගලයින් වෙත අයිතිය තිබූ මෙම එළවළු වතු වල සේවය කරන සේවකයින් පවා පැමිණ තිබෙන්නේ දුර බැහැරින්..... අඹේවෙල කඩමණ්ඩිය හැරුණු විට දුම්රිය මඟ ආසන්නයේ වෙනත් ජනාවාස නොතිබුණු තරම්.... ඒ නිසා දෛනිකව ගොවිබිම් වල වැඩට සේවකයින් පැමිණ තිබුණේ  බැහැරින්.... ඒත් ඒහැම ගොවිබිමකම සේවක වාඩියක් නොවැරදීම ඉදිවී තිබුණා.... අක්කරයක දෙකක මේ ගොවිබිම් බොහොම පිළිවෙලට ක්‍රමානුකූලව සකසලා තිබුණා....කොළඹ රටේ රස කරමින් කන කැරට්, බීට්,  ගෝවා, රාබු වෙනුවෙන් සීතල අඹේවෙල දී දහඩිය හෙළන ගොවීන්, ගෙවිලියන් වගේම,  එළවළු කඩවල, සුපර් මාකර්ට් වල පහතරට එළවළු වලට වඩා පෙනුමෙන් වැජඹෙන්න ඕන නිසාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රසායනික දියරවලින් නැහැවෙන කැරට්, බීට්, ගෝවා, රාබු ත් අපි දැක්කා....

දුම්රිය මාර්ගය දිගේ අඹේවෙල ඉඳන් පට්ටිපොලට යද්දි බිංගෙයක් , පාලමක් වගේ කිසිදු සුවිශේෂී ඉදිකිරීමක් හමුවන්නේ නෑ... හමුවෙන්නේ ගල් බැම්මෙන් බැඳපු පුංචි බෝක්කු කිහිපයක් විතරයි... ඒත් හෝටර්න්තැන්නේ සීමාව නිසා හොඳ ජෛව විවිධත්වයක් නම් මේ කොටසෙදි දකින්න පුළුවන්.... අපේ පිරිවර තව ටිකක් උදෑසනින් අඹේවෙලින් පිටවුණා නම් ඒ නිරීක්ෂන වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලැබෙන්න තිබුණා.... ඒත් එහෙමයි කියලා අපිට හමුවුණු පුංචි සත්තුන්ගෙත් වටිනාකමේ අඩුවක් තිබුණෙ නෑ.... Green garden lizard නමින් හඳුන්වන පළාකටුස්සාත් තවත් ගෙඹි විශේෂ කිහිපයකුත් ගොළුබෙලි විශේෂයකුත් අපේ නිරීක්ෂණ වලට නතු වුණා... ඒ ගැන විස්තර තවමත් සොයා බලා අවසන් නොමැති නිසා ඉදිරියේදී ඒ විස්තර ඉදිරිපත් කරන්නම්. 


ටිකක් දුර යන කොට  උඩු හුළඟත් එක්ක නාස් කුහර පුරෝගෙන එන යෝගට් සුවඳක් දැනුනා.... ඒ එක්කම දුම්රිය පාරේ දකුණු අත පැත්තෙන් සුදු පැහැති විශාල උස් ගොඩනැඟිල්ලක් ඇස් මානෙට මතුවුණා.... ඒ තමයි රටටම හයිලන්ඩ් කිරි නිෂ්පාදන සපයන මිල්කෝ කර්මාන්ත ශාලාව.... අතීතයේ හොඳ නිෂ්පාදනයක් කෙරුණත් වත්මනේ නම් තරඟකාරී නිෂ්පාදන රාශියක් සමඟ පොරබදිමින් කළින් කළට පත්වන රජයයන් වල ඇමැතිවරුන්ගේ තීරණ  මත අබල දුබලව ක්‍රියාත්මක වෙන මිල්කෝ ආයතනය නවීකරණය වෙමින් පවතින බවක් තමා පෙනුනේ..... කටට කෙළ උණන කිරි සුවඳට ඉව අල්ලමින් උස් වැටකින් දුම්රිය පාරට සිමාවුණු මිල්කෝ නිෂ්පාදනාගාරය පහුකරගෙන ආවා.... ආයෙමත් අපි ඉදිරිපිට මහරත්මල් යායක්..... 




Rhododendron arboreum යන විදු නමින් හඳුන්වන මහරත්මල් පිපෙන්නේ අවුරුද්දේ එක කාළයකට විතරයි.... ඒ මැයි ජූනි මාස වල..... මහරත්මලේ උප විශේෂ කිහිපයකුත් තියෙනවා.... පොදුවේ මහරත්මල ලංකාවට ආවේණිකයි. මධ්‍යම පළාත් පුෂ්ඵය වන මහ රත්මල මුහුදු මට්ටමේ සිට මීටර් 1700 - 2300 ට වඩා උසින් පිහිටි හෝර්ටන් තැන්න, ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, සඳතැන්න,  ආදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රදේශ වල හොඳින් වැඩෙනවා... නිතර ලැව් ගිනි වලට ලක්වෙන හෝර්ටන් තැන්නේ එම ගිනි වලට ඔරොත්තු දෙමින් නැවැත නැවැත වැවෙන මහරත්මල ශාකයේ පත‍්‍ර මිලිමීටර් 110 -50 ඝනකමින්  යුතු වන අතර පත‍්‍රවල යටිපැත්තේ දුඹුරු  පැහැ කෙඳි දකින්න පුලුවන්. 

මහරත්මල් ගොමුව පසුකරන විට තරමක් ළඳු සහිත ප්‍රෙද්ශයක්.... වේලාව උදේ දහය වෙද්දිත් ළා හිරු එළියට වියළි නොගිය පින්නෙන් පිරුණු මීවන පඳුරු යායක් දුම්රිය පාර අයිනෙම හැදිලා තිබුණා..... අපි ඉදිරියෙන් වූ වන  ගොමුවෙන් අපිට මීටර සියයක් විතර දුරින්  විශාල කළු ගුළියක් රේල් පාර හරහා ක්ෂණයෙන් මාරු වුණා.... වල් ඌරා, ගෝනා , දිවියා දෑසින් දකින්න හීන මවපු  අපේ හීනය සැබෑවෙලාද කියන ත්‍රාසය මිශ්‍ර බැල්මෙන් එක තැන  නැවැතුණු අපි තවත් තත්පර ගණනාවක් හිටිවනම හිටියා..... ටික වේලාවකින් වම් පස ගස් ගොමුවෙන් ඇසුණු “බුකුං බුකුං“ නාදය අපේ ත්‍රාසය මකා හීන් හිනාවක්ද, ලැජ්ජාවක්ද සිත් තුළ ජනිත කළා.....  

“කළු වඳුරා“ හඬ අවදි කළේ චමත්.... 

“මේකා ලංකාවට ආවේණිකයි“ ආයෙමත් චමත්..... 

“ඒත් පුදුමය ඒක නොවෙයි - හැට පැන්නත් බිම යන්නෙ නෑ කියන වඳුරා රේල් පාර හරහා ගියේ බිම දිගේනේ.....“ මම කිව්වා...

“ඇත්ත තමයි.... වෙලාවට ෆොටෝ එකක් ගන්න බැරි වුණානෙ... එහෙනම් ෆේස්බුක් එකේ දාලා ලයික් ලොරියක් බාගන්න තිබ්බා....“ ලොවිඳු මල්ලි ත් හඬ අවදි කළා. 

ලංකාවේ වෙසෙන කළු වඳුරා මෙරටට ආවේණීක වන අතර ලංකාව තුළ මෙම වඳුරන්ගේ උප විශේෂ පහක් හඳුනාගත හැක. එයින් අඹේවෙළදී අපට හමුවන්නේ මධ්‍යම කදුකරයේ මීටර් 1200-2000 දක්වා වූ කලාපය
තම වාසස්ථානය කර ගත් Trachypithecus vetulus monticola කඳුකර කළු වඳුරා (Bear monkey highland purple-faced langur) නම් උප විශේෂයයි. මෙම වඳුරන්ගේ සුවිශේෂත්වය නම් එකම විශේෂයේ වුවද තම උපවිශේෂයේ සතුන් ගෙන් බැහැරව අභිජනන ක්‍රියා වේ නොයෙදීමයි.... මෙරටට ආවේණික හැළි වඳුරා මෙම සීමා බිඳිමින් තම කළාපයෙන් බැහැර සතුන්  සමඟද අභිජනන කටයුත්තේ යෙදිම නිසා උප විශේෂ ලෙස වෙන්වීමක් දැකිය නොහැකි වී ඇත. රටේ ජනාකීර්ණ ප්‍රෙද්ශවල වෙසෙන වඳුරන්ට සාපේක්ෂව  මෙම වඳුරන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා ජීවිත තර්ජන නොමැති නමුදු  මේ උප විශේෂයද ජාත්‍යන්තර රතු දත්ත පොතේ සාමාජිකයෝ වෙති. 





අඹේවෙල ඉඳන් දුම්රිය මාර්ගය දිගේ යද්දි ඊළඟට අපිට හමුවුන සුවිශේෂී ස්ථානය තමයි, දේශිය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දොපාර්තමේන්තුව යටතේ පාලනය වන පට්ටිපොල ඔසු උයන. දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඔසු උයන් අතරින්  විශාලත්වයෙන් තෙවැනි තැන ගන්න මෙම ඔසු උයන අක්කර 25ක් විශාලයි... කළින් වෙන්කරගෙන නවාතැන්ගත හැකි සංචාරක බංගලාවකින්ද සමන්විත මෙහි හෙළ ඔසු සඳහා භාවිතාවන කඳුකර ශාක හා ජලජ ශාක ආදර්ශ වගාකර සංරක්ෂණය කර තිබෙනවා... අපේ අරමුණ ඔසු උයන නැරඹීම නොවුනු නිසා ඔසු උයන පසුකරමින් රේල් පාර දිගේ යන අපිට ඊළඟට දක්නට ලැබුණේ දිය පීල්ලක්... දේශීය විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය මේ දිය පිහිල්ලට කියන්නේ “කූල් ගටර්“ කියලා.... නැත්නම් පට්ටිපොල දිය පිහිල්ල කියලා....අපි එතැනින් එද්දි වේලාව උදේ 11ට විතර ඇති. එවෙළෙත් හෝටන් තැන්න බලා යන  සංචාරකයින් පිරිසක් දිය පිහිල්ල ළඟ නැවතිලා හිටියා.... 

මෙතෙක් දුරක් ජනාකීර්ණ නොවී හුදකළාව සර්ප ගමනෙන් ඇදුණු දුම්රිය මාර්ගය දැන් දැන් ආයෙම ජනාකීර්ණ වෙන්න පටන් අරන්.... ඒ කියන්නේ අපි පට්ටිපොළට ළඟා වෙන බවට ඉඟියක්... ඈතින් පට්ටිපොළ දුම්රිය හරස් මාර්ගයේ ඇතුල්වීමේ සංඥාව පේනවා.... අඹේවෙල ඉඳන් හෝටන් තැන්නට යන මාර්ගය පට්ටිපොල දුම්රිය පොලට මීටර් සියයක් පමණ මෙපිටින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරනවා.... එතැනදි අපිට හමු වෙන්නේ  පට්ටිපොල- අඹේවෙල කොටසේ පෙට්‍රොල්මන් වරයා..... දුම්රිය මාර්ගයේ ආරක්ෂාව භාරව ඉන්න ඔහු එයට වන ඕනෑම උපද්‍රවයක් වෙනුවෙන් වගකිව යුතුයි... ආගන්තුකයින් වන අපේ අනන්‍යතාවය විමසන ඔහු අපේ ගමන්  අරමුණු, අපේ ඇසුරුම් වල අඩුම කුඩුම ගැන විමසිම් කරනවා... ඔහුගේ රාජකාරියට සාවධානව ඉඩදෙන අපි අවසානයේ අවසර ලිපිත් ඔහුට දක්වා යළිත් ඉදිරියට ඇදෙන්න පටන්ගත්තා...



දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාර්ගය හමුවන තැන දෙපස අපූරු හැඩයේ ගොඩනැඟිලි කිහිපයක් දක්නට ලැබුණා...  එකක් පට්ටිපොළ උප තැපැල් කාර්යාලය.... අනෙක හින්දු කෝවිල.... දෙකේම ගෘහ නිර්මාණ සැළැස්ම එකක ට එකක් සමානයි. පැරණි ටකරන් තහඩු වහළ පල හතරකට ගහල ඒ තහඩු හුළඟේ යන එක වළක්වන්න කළුගල් - සිමෙන්ති ගල් තැන් තැන්වල තියලා තිබුණා....  ගොඩක් උස් නැති ගොඩනැඟිල්ල වටේටට ලෑලි හා ලී පටි  ගහල තිබුණා....  කෝවිල ඉදිරිපිට වීදුරු කුටියක්, පඬුරු බදින ත්‍රිශූලයක්, උස්  යකඩ බට වලින් සැකැසූ කුඩා ඝණඨාරයක්ද තිබුණා.පසෙකින් ළිඳක්ද තිබුණු මෙහි වැට සිල්පර හා ලීකොට සිටවා අදින ලද අක්‍රමවත් කටු කම්බි  පොටවල් කිහිපයකින් සමන්විත වුණා. සිංහල දමිළ සමාන බහුතරයකිනුත් මුස්ළිම් සුළුතරයකුත් සිටින මෙහි වූ කෝවිල තවමත් නගරයේ ආගමික ස්ථාන මෙන් අධිකාරීවාදය ඉස්මතු කරලා තිබුණේ නෑ... අපි මෙහිදී බෞද්ධ පන්සලක් හෝ ඉස්ලාම් පල්ලියක් දැක්කේත් නෑ... උප තැපැල් කාර්යාලයේ සුද්දාගේ කාලයේ සවිකළ නාමපුවරුවක් පවා තවමත් දකින්නට තිබුණා... එහි තැපැල් ස්ථානාධිපතිවරයා කාර්යාල ඉඩමේ  කැරට් වගාවක් නඩත්තු කරමින් සිටියා...නුවරඑළිය දෙසින් පැමිණෙන ලංගම බසය දුටු ඔහු කරමින් සිටි වැඩය නවත්වා ඉදිරියට දිවගියා.... දහවල් එකොළහ විතර වුණු ඒ මොහොතේ තමයි ඔහුට දවසේ තැපැල් මල්ල බසයෙන් ලැබුණේ.... 


රටේ නොයෙකුත් පැතිවල එක එක විදියේ ගෘහ කර්මාන්ත - ගෘහ ව්‍යාපාර තියෙනවා.... පට්ටිපොළ අවටත් අපූරු ගෘහ කර්මාන්තයක් දක්නට ලැබුණා... කර්මාන්තයක් කිව්වට මේක වගාවක්.... තමන්ගේ මිදුලේ විවිධ මල්  වැවීම තමයි මේ අයගේ අමතර ආදායම සපයන්නේ.... රෝස, කානේෂන්, ලිලී ආදී විවිධ මල් වර්ග තමන්ගේ ඉඩමේ වගා කරලා නඩත්තු කරලා අවසානයේ පිපෙන මල් එක්රැස් කර විකිණීම තමයි මේකේ ව්‍යාපාර  ස්වභාවය....ඒ විදියට නෙළන මල් එකතු කරන තැනක් පට්ටිපොළ කෝවිල ඉදිරිපිට දුම්රිය මාර්ගය ආසන්නයෙන් තිබුණා.... තව පැයකින් පමණ පට්ටිපොලෙන් කොළඹ යන්නට නියමිත අංක 1008 දුම්රියෙන් ගම්පහට සහ කොළඹට යැවීමට කඩිසරව මල්  තෝරමින් සිටි අඹු සැමි යුවලක් හා ඔවුන්ගේ පුතු අපගේ තොරතුරු විමසීම ඔවුන්ගේ කාර්යයට බාධාවක් කරගත්තේ නෑ.... දෛනිකව සිදුවන මෙම කාර්යය තමන්ට හොඳ ලාභයක්  ගෙන දෙන බව තමයි ඔවුන් කීවේ.... 

හරස් මාර්ගය පසු කළාම දුම්රිය ස්ථානය පෙනෙන නොපෙනෙන දුර.... අතුරු පාරකින් මතුවුනු ප්‍රෙද්ශවාසී තරුණියෝ දෙන්නෙක් දුම්රියපොළ දිහාට යන්න දුම්රිය පාරට ගොඩවුණේ ආගන්තුක අපිව නොදැක බොහොම සැහැල්ලුවකින් වෙනද පුරුදු විදියටම..... හැබැයි මේ දෙන්නා අපිව දැක්කා විතරයි පැත්තවත් නොබලා කඩිනම් ගමනෙන් දුම්රියපොළ පැත්තට ගියා.... 

“අන්න පොඩි මැණිකේ අප් එකයි උඩරට මැණිකේ අප් එකයි  එකම වෙලාවේ පට්ටිපොළට ඇවිත් ........“ 

මාධව මල්ලිගේ හඬත් එක්ක ක්‍රියාත්මක වුනු ලොවිඳුගේ කැමරාව සාක්ෂියකුත් ඉතුරු කළා....  ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි ටිකක් පරණ වෙනස්ම විදියේ දුම්රිය මාර්ග සංඥාවක් පාර අයිනේ තිබ්බා.... මේ ගැන  විස්තරාත්මක අවබෝධයක් නැතත් එහි ලීයෙන් තනා සුදු පැහැ ආලේපිත පට්ටම් දෙකක් තිරස් අතට කෝණ දෙකකින් අඩි තුනක් විතර උස සිරස් ලී කණුවක සවිකර තිබුණා...
එක් පට්ටමක 51 ලෙසත් අනෙක් පට්ටමේ ඉංග්‍රීසි ‘එල්‘ අකුරත් සටහන් කර තිබුණා.... පසුව යකඩයකා දුම්රිය ලෝලී සමූහයෙන් මේ පිළිබඳ විමසා බැලූ අතර එහිදී පිළිතුරු දුන් සහෘදයින් දක්වා සිටියේ දුම්රිය රියදුරන්ට ඉදිරි මාර්ගයේ ආනතිය ගැන දැක්වීමට  මෙම පුවරු භාවිතා වන බවයි. ඒ අනුව මෙම සළකුණ පිහිටි තැනින් එක් පසෙකට අඩි 51ට අඩි 1ක බෑවුමකුත් අනෙක් අතට සමමිතික මාර්ගයකුත් පවතින බව තමා සටහන් වී තිබුණේ.... 

සිල්පරෙන් සිල්පරේට අඩි තියමින් කෝච්චි පාර දිගේ ඇවිදගෙන යන ගමනකට වඩා වෙනස් විදියට වටපිට තොරතුරු බලමින් විචාර බුද්ධියෙන් යුතුව ඒ දේ  ගැන සොයා බලමින් කිලෝමීටර් 3.5ක දුරක් දුම්රිය මාර්ගය දිගේ පැමිණී  අපි ඊළඟට ආවෙ පට්ටිපොළ දුම්රියපොළට..... ඒ වෙනකොට වෙලාව දහවල් දොළහට ආසන්නයි. පට්ටිපොළ දුම්රියපොළ බොහොම කළබලකාරියි..... දුම්රිය ස්ථානාධිපති තුමාත් කාර්යාලයෙන් එළියට ඇවිත් පාර දිහා බලාගෙන.... දුම්රිය පොළේ එහා කෙළවරේ පොලිස් ජීප් රථයක්.... එහෙම වුණේ ඇයි? ඊළඟ ලිපියෙන් බලමු. 


සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ



ස්තූතිය - 
අඹේවෙල දුම්රිය ස්ථාන කාර්යය මණ්ඩලයට - අසුරංග මෙන්ඩිස් මහතාට - කසුන් දර්ශන මහතාට - ජ්‍යෙෂ්ඨ දුම්රිය රියදුරු සමන් ගුණවර්ධන මහතාට - පට්ටිපොළ දුම්රිය ස්ථීර මාර්ග පරීක්ෂක මහතාට-ප්‍රෙද්ශවාසීන්ට - වැඩසටහනට සහභෘගී වූ සැමට - යකඩ යකා ෆේස්බුක් සමූහයේ තොරතුරු දැක්වූ සහෘදයින්ට

සහභාගී වූවෝ -
චමත් මධු  - භාග්‍ය තිවංක - මාධව කසුන්ජිත් - වරුණ් දේමිත - ප්‍රභාෂ් මලිත - ඉන්දක කරුණාදාස - ලොවිඳු චතුරංග - ඕදිත වනසිංහ - මන්රුචි සිරිවර්ධන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

ඡායාරූප සපයා දුන් සියළු දෙනාට ස්තූතියි!

අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

අපගේ ගවේශන චාරිකා ගැන වැඩි විස්තර සඳහා මෙතැනට යන්න.

මීළඟ ලිපියට මෙතැනින් - පට්ටිපොළ සිට දුම්රිය මඟේ උසම ස්ථානයට පා ගමනින්