Saturday 18 July 2015

ලංකාවේ උසම දුම්රියපොළ අතර පාගමනින් සංචාරයක -01 කොටස

කොළඹ සිට අඹේවෙලට... අඹේවෙල සිට පාගමනින් පට්ටිපොලට


සති ගණනක් පුරා කොළඹ වැසියන්ගේ ගතට වෙහෙස ගෙන දුන් දැඩි අව් රශ්මිය පහවෙලා ගිහින් වැහි වැටෙන්න පටන් අරන්..මාසයක විතර ඉඳලා කරපු සැලසුම වතුරෙ ගහගෙන යන්න නොදී මොර සූරන වැස්සට යටින්  ගමනට නියමිත හැම දෙනාම මරදාන දුම්රිය පොළට ආවේ රාත්‍රී තැපැල් දුම්රිය අල්ලගන්න. සිකුරාදා දවස ටිකක් විතර සෙනඟ වැඩි දවසක් වුණත් දුම්රිය නවත්තන මොහොත වන විට ගොඩක් දෙනා දුම්රියට ගොඩ වෙන්න තෙරපුණේ නැත්තේ නොනවතින වැස්ස බොහෝ දෙනාගේ කටයුතු අඩාල කරලා තිබ්බ නිසා වෙන්න ඇති. විනාඩි දහයක පහළොවක පමාවෙන් පස්සේ  කිටි කිටියේ තදවෙන්න තරමට දුම්රියට නැඟුණු පිරිසත් සමඟ බදුල්ල ට යන දුම්රියේ ඉදිරියට ඇදුණු අපි යළි යළි ඇහැරෙන කුක්කුට නිද්‍රාවන් කිහිපයක සුවයකින් පස්සේ අළුයම පහ විතර වෙද්දි අඹේවෙලට ළඟාවුණා..... දුම්රිය ස්ථානාධිපතිතුමාගේ අවසරයෙන් විවේක කාමරයට වෙලා බිමට එළිය වැටෙනකම් ගතකරපු අපි උදේ හයට විතර දවසේ වැඩ ආරම්භ කළා.                 
                                          
ලංකාවේ දුම්රිය ධාවනය වන සීමාවේ ඉහළින්ම පිහිටි දුම්රිය ස්ථාන අතර දුම්රිය පාර දිගේ ගවේශන චාරිකාවක් යාම තමයි අපේ අරමුණ වුණේ..... ඒ අනුව අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට පට්ටිපොළ ඔහිය පහුකරගෙන ඉදල්ගස්හින්නට  දුම්රිය පාර දිගේ පයින්ම යාම තමයි අපේ බලාපොරොත්තුව..... මේ දුරෙන් වැඩි කොටසක් වැටී තිබෙන්නේ  හෝටන්තැන්න ජාතික වනෝද්‍යාන සිමාව දිගේ..... දිවියා සහ ගෝනා කියන දුර්ලභ සිව්පා සතුන්ට අමතරව නෙක නෙක සමනළුන්, පක්ෂීන් ගැවසෙන සුන්දර පරිසර පද්ධතියක යන මේ ගමනෙදි මෙරට තිබෙන සමස්ථ දුම්රිය බිංගෙවල් සංඛ්‍යාවෙන් 1/3ක්ම පසුකරන්නටත් නියමිතයි.... 

උදෑසනින් බදුල්ලේ සිට කොළඹ බලා යන දුම්රියෙන් අප සමඟ එක්වන්නට තවත් සාමාජිකයින් දෙදෙනෙකු එනතුරු මීදුම් වළාවන් පළවා හරින ළාහිරු එළියේ ඔබ මොබ ඇවිදිමින් ගත කරන අපට දුම්රිය මාර්ගයේ වැවී 
තිබෙන  අපූරු පැළැටියක් දක්නට ලැබුණා.... සාමාන්‍ය ස්ට්‍රෝෙබරි ගෙඩියකට පෙනුමෙන් සමාන - එහෙත් ප්‍රමාණයෙන් කුඩා මේ ගෙඩි ගොටුකොළ සේ වැල් අදෙන පැළෑටියක තැනින් තැන ඵලගෙන තිබුණා.... 

“මේ ස්ට්‍රොබෙරි ද?“ කෙනෙක් ඇහුවා....



“නෑ මේ වල් ස්ට්‍රොබෙරි - මේවා මිනිස්සු කන්නේ නෑ - ඒ වුණාට සත්තු - කුරුල්ලෝ නම් කනවා“ පිළිවදන් දුන්නේ අපේ කණ්ඩායමේ චමත් 

Fragaria virginiana කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වල් ස්ට්‍රොබරි කඳුකරයේ බොහොම සුලබ පැලෑටියක් බව දුම්රිය පොළ අසළ තේ කඩයේ ජයසිංහ මුදලාලි පසුව අප හා පැවසුවා.....  අතීතයේ
නම් මේවා බෙහෙතට යොදාගත් බව සඳහන් වුණත් වල් දෙල්- වල් අල - වල් පැල සේම වල් ස්ට්‍රොබෙරිත් දැන් භාවිතයෙන් අයින් වෙලා.  

දුම්රිය ස්ථානය අසළ වැවී තිබූ වල් ස්ට්‍රොබෙරි ගොමුව පසුකර ප්‍රධාන පාර දෙසට  ගිය අපි දැනට අළුත් වැඩියා කර ඇති පසුගිය 2014 දෙසැම්බර් මස නාය ගිය දුම්රිය මාර්ග කොටස බැලීමටද අමතක කළේ නෑ....  අඩි 30ක් පමණ ගැඹූරට අඩි 50ක් පමණ දුරට සේදී ගිය මෙම ස්ථානය දැන් ගල් කුට්ටි පසෙකින් අතුරමින් පස් පුරවා ශක්තිමත්ව සකස් කරනවා..... උදේ හතට වගේ වුණත් වැඩකරන සේවකයින් එතැනට ඇවිත් වැඩ පටන් ගන්න සූදානම් වෙලා තිබුනා... මෙයාලා දෙපාර්තමේන්තු සේවකයින් නොවේ... කොන්ත්‍රාත් සේවකයින්... 



“මෙහෙම වුණේ ඇයි ?“ 

නුවරඑළියට යන උදේ බස් එක එනකම් අඹේවෙල කඩමණ්ඩියේ හිටපු වයසක මාමා කෙනෙක්ගෙන් අපි එහෙම ඇහුවා.... මාමා නම් දෙමළ. ඒත් කැඩිච්ච සිංහලෙන් මේ ටික කිව්වා....

“පුතා සුද්දා කඳු කපල කෝච්චිය උඩහට හැදුවට මෙහෙට වහින විදිය, කන්දෙන් පහළට වතුර ගලන විදිය ගැන හොඳ අවධානයෙන් තමා වැඩේ කළේ.... ඒ වෙනුවෙන් කාණු හැදුවා... වැටි බැන්දා....බෝක්කු බැන්දා...  ඒත් අපේ අය වැඩේ බාරගත්තාට පස්සේ පාර ගැන විතරයි බැලුවේ..... අර අතුරු ඉදිකිරීම් ගැන බැලුවේ නෑ.... ඒ නිසා තමයි මේ දේවල් වුණේ......“

මාමාට දෙන්න අපි ගාව පිළිතුරක් නොතිබුණත් පැහුණු කෙසින් යුතු ඒ මිනිසාගේ දැක හුරුවෙන්, දැන හුරුවෙන්, කළ හුරුවෙන් පැවැසූ දේ බොරු යැයි බැහැර කරන්න හිතට ඉස්පාසුවක් ලැබුණෙත් නෑ...

දුම්රිය හරස් මාර්ගයෙන් පහළට ගමන් කරන හෝටන් තැන්න මාර්ගයේ ඉදිරියට ගිය අපි ලොරි තට්ටුවක හදපු පුංචි හෝටලයකට ගොඩවෙලා උණු උණු පරිප්පු හොදි සමඟ පාන් අපේ පාතරසය කර ගත්තේ දිගු පා ගමනකට අවශ්‍ය ශක්තිය හා ජවය ලබාගන්න. (ඇත්තටම ඒ හෝටලේ පාන් හැර කන්න වෙන යමක් කෑමට තිබුණෙ නෑ.) අපි පාන් කන අතර තුරේ බදුල්ලේ සිට කොළඹ යන උදෑසන උඩරට මැණිකේ දුම්රියත් අඹේවෙලට ළඟා වුණා.... හපුතලේ සිට අපේ වැඩසටහනට එක්වන සොයුරන් දෙදෙනාත් ඒ දුම්රියේ ඇවිත් අපිත් සමඟම උදෑසන ආහාරය ගන්න එකතු වුණා.... කෑමෙන් පස්සේ හොඳ ඝණකමින් හැදුනු කෝපි
කෝප්පයකින්  ඇඟ උණුසුම් කර ගත් අපි අපේ වැඩසටහන ආරම්භ කළා.... 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළාපය භාර දිස්ත්‍රික් ඉංජිනේරුවරයාව දැනුවත් කර තිබුණු අපි පට්ටිපොළ හා ඔහිය කළාප භාර දුම්රිය ස්ථීර මාර්ග පරීක්ෂවරුන්ගේ අවසරය මෙම දුම්රිය පාගමන වෙනුවෙන් ලබාගත්තා..ලංකාව තුළ දුම්රිය පාර දිගේ පාගමනින් යාම නීතිවිරෝධි වැඩක් වුණත්..... ලෝකයේ බොහෝ සුන්දර දුම්රිය මාර්ග ප්‍රෙද්ශ වල පාගමනින් සංචාරයේ යෙදෙන දුම්රිය ලෝලීන් නම් සුලබයි. අපේ රටේ දුම්රිය මාර්ග වලත් පාගමන් යන දෙස් විදෙස් දුම්රිය ලෝලීන් ගණනාවක් ඉන්නවා....නමුත් අපේ වැඩසටහන නම් දුම්රිය මාර්ගයේ පාගමනින් යන අතරම මේ මාර්ගයේ සහ දුම්රිය සේවයේ සුවිශේෂතා අධ්‍යයනය කිරීමත් ඇතුළත් වුණා.... ඒ වෙනුවෙන් රටේ විවිධ ප්‍රෙද්ශවලින් එකතු වුණු තරුණ ජවයෙන් පිරි සාමාජිකයින් එකොළොස් දෙනෙකු අපිත් සමඟ සිටියා..... 

අඹේවෙල දුම්රිය ස්ථානය කොළඹ ඉඳන් කිලෝඹීටර් 221.5ක් දුරින් තමා පිහිටා තියෙන්නේ..... මේ මාර්ගයේ දෛනිකව ගමන් කරන සියළු දුම්රියයන් නවත්වන ප්‍රධාන දුම්රිය පොළක් වෙන අඹේවෙල දුම්රිය පොළ අතුරු මාර්ග කිහිපයකින්ද සමන්විත, පහසුකම් සහිත දුම්රියපොළක්.... අතහැර දමන ලද බඩු ගබඩා ගොඩනැඟිල්ලක්ද දුම්රිය පොළ හා සම්බන්ධයි.... අඹේවෙල දුම්රිය පොළ අසළම මිල්කෝ කිරි සැකසුම් කම්හල සහ තවත් කිරි ගොවිපොළවල් දෙකක ට පිවිසුම් මාර්ග සහිතයි. ලංකාවේ දුම්රිය පොළ අතරින් දෙවැනියට උසින් පිහිටි දුම්රිය පොළ තමයි අඹේවෙල... උස මුහුදු මට්ටමේ සිට මීටර 1827.3ක්.  නුවරඑළියේ මීපිළිමාන හරහා හෝටන් තැන්නට යන මාර්ගයේ එල්ජීන් දිය ඇල්ලටත් ආසන්නයේ තමා මේ දුම්රිය පොළ පිහිටා තිබෙන්නේ.... .

අඹේවෙල ඉඳලා පා ගමනින් යන අපිට හමුවන මීළඟ දුම්රිය නැවැතුම් පොළ පට්ටිපොළ... ඒ තවත් කිලෝමීටර 3.5කින්. මේ මඟ දෙපස තියෙන්නේ සරුසාර එළවළු වතු.... ඒ එළවළු වතු වලට ඔබ්බෙන් රතුම රතු  මහරත්මල් පුරෝගත්තු ගස් යායක මායිමෙන් හෝටන්තැන්න ජාතික උද්‍යානයේ සිමාව සටහන් වෙලා තිබුණා... නුවරඑළියේ හෝ කොළඹ වෙසෙන පුද්ගලයින් වෙත අයිතිය තිබූ මෙම එළවළු වතු වල සේවය කරන සේවකයින් පවා පැමිණ තිබෙන්නේ දුර බැහැරින්..... අඹේවෙල කඩමණ්ඩිය හැරුණු විට දුම්රිය මඟ ආසන්නයේ වෙනත් ජනාවාස නොතිබුණු තරම්.... ඒ නිසා දෛනිකව ගොවිබිම් වල වැඩට සේවකයින් පැමිණ තිබුණේ  බැහැරින්.... ඒත් ඒහැම ගොවිබිමකම සේවක වාඩියක් නොවැරදීම ඉදිවී තිබුණා.... අක්කරයක දෙකක මේ ගොවිබිම් බොහොම පිළිවෙලට ක්‍රමානුකූලව සකසලා තිබුණා....කොළඹ රටේ රස කරමින් කන කැරට්, බීට්,  ගෝවා, රාබු වෙනුවෙන් සීතල අඹේවෙල දී දහඩිය හෙළන ගොවීන්, ගෙවිලියන් වගේම,  එළවළු කඩවල, සුපර් මාකර්ට් වල පහතරට එළවළු වලට වඩා පෙනුමෙන් වැජඹෙන්න ඕන නිසාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රසායනික දියරවලින් නැහැවෙන කැරට්, බීට්, ගෝවා, රාබු ත් අපි දැක්කා....

දුම්රිය මාර්ගය දිගේ අඹේවෙල ඉඳන් පට්ටිපොලට යද්දි බිංගෙයක් , පාලමක් වගේ කිසිදු සුවිශේෂී ඉදිකිරීමක් හමුවන්නේ නෑ... හමුවෙන්නේ ගල් බැම්මෙන් බැඳපු පුංචි බෝක්කු කිහිපයක් විතරයි... ඒත් හෝටර්න්තැන්නේ සීමාව නිසා හොඳ ජෛව විවිධත්වයක් නම් මේ කොටසෙදි දකින්න පුළුවන්.... අපේ පිරිවර තව ටිකක් උදෑසනින් අඹේවෙලින් පිටවුණා නම් ඒ නිරීක්ෂන වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලැබෙන්න තිබුණා.... ඒත් එහෙමයි කියලා අපිට හමුවුණු පුංචි සත්තුන්ගෙත් වටිනාකමේ අඩුවක් තිබුණෙ නෑ.... Green garden lizard නමින් හඳුන්වන පළාකටුස්සාත් තවත් ගෙඹි විශේෂ කිහිපයකුත් ගොළුබෙලි විශේෂයකුත් අපේ නිරීක්ෂණ වලට නතු වුණා... ඒ ගැන විස්තර තවමත් සොයා බලා අවසන් නොමැති නිසා ඉදිරියේදී ඒ විස්තර ඉදිරිපත් කරන්නම්. 


ටිකක් දුර යන කොට  උඩු හුළඟත් එක්ක නාස් කුහර පුරෝගෙන එන යෝගට් සුවඳක් දැනුනා.... ඒ එක්කම දුම්රිය පාරේ දකුණු අත පැත්තෙන් සුදු පැහැති විශාල උස් ගොඩනැඟිල්ලක් ඇස් මානෙට මතුවුණා.... ඒ තමයි රටටම හයිලන්ඩ් කිරි නිෂ්පාදන සපයන මිල්කෝ කර්මාන්ත ශාලාව.... අතීතයේ හොඳ නිෂ්පාදනයක් කෙරුණත් වත්මනේ නම් තරඟකාරී නිෂ්පාදන රාශියක් සමඟ පොරබදිමින් කළින් කළට පත්වන රජයයන් වල ඇමැතිවරුන්ගේ තීරණ  මත අබල දුබලව ක්‍රියාත්මක වෙන මිල්කෝ ආයතනය නවීකරණය වෙමින් පවතින බවක් තමා පෙනුනේ..... කටට කෙළ උණන කිරි සුවඳට ඉව අල්ලමින් උස් වැටකින් දුම්රිය පාරට සිමාවුණු මිල්කෝ නිෂ්පාදනාගාරය පහුකරගෙන ආවා.... ආයෙමත් අපි ඉදිරිපිට මහරත්මල් යායක්..... 




Rhododendron arboreum යන විදු නමින් හඳුන්වන මහරත්මල් පිපෙන්නේ අවුරුද්දේ එක කාළයකට විතරයි.... ඒ මැයි ජූනි මාස වල..... මහරත්මලේ උප විශේෂ කිහිපයකුත් තියෙනවා.... පොදුවේ මහරත්මල ලංකාවට ආවේණිකයි. මධ්‍යම පළාත් පුෂ්ඵය වන මහ රත්මල මුහුදු මට්ටමේ සිට මීටර් 1700 - 2300 ට වඩා උසින් පිහිටි හෝර්ටන් තැන්න, ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, සඳතැන්න,  ආදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රදේශ වල හොඳින් වැඩෙනවා... නිතර ලැව් ගිනි වලට ලක්වෙන හෝර්ටන් තැන්නේ එම ගිනි වලට ඔරොත්තු දෙමින් නැවැත නැවැත වැවෙන මහරත්මල ශාකයේ පත‍්‍ර මිලිමීටර් 110 -50 ඝනකමින්  යුතු වන අතර පත‍්‍රවල යටිපැත්තේ දුඹුරු  පැහැ කෙඳි දකින්න පුලුවන්. 

මහරත්මල් ගොමුව පසුකරන විට තරමක් ළඳු සහිත ප්‍රෙද්ශයක්.... වේලාව උදේ දහය වෙද්දිත් ළා හිරු එළියට වියළි නොගිය පින්නෙන් පිරුණු මීවන පඳුරු යායක් දුම්රිය පාර අයිනෙම හැදිලා තිබුණා..... අපි ඉදිරියෙන් වූ වන  ගොමුවෙන් අපිට මීටර සියයක් විතර දුරින්  විශාල කළු ගුළියක් රේල් පාර හරහා ක්ෂණයෙන් මාරු වුණා.... වල් ඌරා, ගෝනා , දිවියා දෑසින් දකින්න හීන මවපු  අපේ හීනය සැබෑවෙලාද කියන ත්‍රාසය මිශ්‍ර බැල්මෙන් එක තැන  නැවැතුණු අපි තවත් තත්පර ගණනාවක් හිටිවනම හිටියා..... ටික වේලාවකින් වම් පස ගස් ගොමුවෙන් ඇසුණු “බුකුං බුකුං“ නාදය අපේ ත්‍රාසය මකා හීන් හිනාවක්ද, ලැජ්ජාවක්ද සිත් තුළ ජනිත කළා.....  

“කළු වඳුරා“ හඬ අවදි කළේ චමත්.... 

“මේකා ලංකාවට ආවේණිකයි“ ආයෙමත් චමත්..... 

“ඒත් පුදුමය ඒක නොවෙයි - හැට පැන්නත් බිම යන්නෙ නෑ කියන වඳුරා රේල් පාර හරහා ගියේ බිම දිගේනේ.....“ මම කිව්වා...

“ඇත්ත තමයි.... වෙලාවට ෆොටෝ එකක් ගන්න බැරි වුණානෙ... එහෙනම් ෆේස්බුක් එකේ දාලා ලයික් ලොරියක් බාගන්න තිබ්බා....“ ලොවිඳු මල්ලි ත් හඬ අවදි කළා. 

ලංකාවේ වෙසෙන කළු වඳුරා මෙරටට ආවේණීක වන අතර ලංකාව තුළ මෙම වඳුරන්ගේ උප විශේෂ පහක් හඳුනාගත හැක. එයින් අඹේවෙළදී අපට හමුවන්නේ මධ්‍යම කදුකරයේ මීටර් 1200-2000 දක්වා වූ කලාපය
තම වාසස්ථානය කර ගත් Trachypithecus vetulus monticola කඳුකර කළු වඳුරා (Bear monkey highland purple-faced langur) නම් උප විශේෂයයි. මෙම වඳුරන්ගේ සුවිශේෂත්වය නම් එකම විශේෂයේ වුවද තම උපවිශේෂයේ සතුන් ගෙන් බැහැරව අභිජනන ක්‍රියා වේ නොයෙදීමයි.... මෙරටට ආවේණික හැළි වඳුරා මෙම සීමා බිඳිමින් තම කළාපයෙන් බැහැර සතුන්  සමඟද අභිජනන කටයුත්තේ යෙදිම නිසා උප විශේෂ ලෙස වෙන්වීමක් දැකිය නොහැකි වී ඇත. රටේ ජනාකීර්ණ ප්‍රෙද්ශවල වෙසෙන වඳුරන්ට සාපේක්ෂව  මෙම වඳුරන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා ජීවිත තර්ජන නොමැති නමුදු  මේ උප විශේෂයද ජාත්‍යන්තර රතු දත්ත පොතේ සාමාජිකයෝ වෙති. 





අඹේවෙල ඉඳන් දුම්රිය මාර්ගය දිගේ යද්දි ඊළඟට අපිට හමුවුන සුවිශේෂී ස්ථානය තමයි, දේශිය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දොපාර්තමේන්තුව යටතේ පාලනය වන පට්ටිපොල ඔසු උයන. දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඔසු උයන් අතරින්  විශාලත්වයෙන් තෙවැනි තැන ගන්න මෙම ඔසු උයන අක්කර 25ක් විශාලයි... කළින් වෙන්කරගෙන නවාතැන්ගත හැකි සංචාරක බංගලාවකින්ද සමන්විත මෙහි හෙළ ඔසු සඳහා භාවිතාවන කඳුකර ශාක හා ජලජ ශාක ආදර්ශ වගාකර සංරක්ෂණය කර තිබෙනවා... අපේ අරමුණ ඔසු උයන නැරඹීම නොවුනු නිසා ඔසු උයන පසුකරමින් රේල් පාර දිගේ යන අපිට ඊළඟට දක්නට ලැබුණේ දිය පීල්ලක්... දේශීය විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය මේ දිය පිහිල්ලට කියන්නේ “කූල් ගටර්“ කියලා.... නැත්නම් පට්ටිපොල දිය පිහිල්ල කියලා....අපි එතැනින් එද්දි වේලාව උදේ 11ට විතර ඇති. එවෙළෙත් හෝටන් තැන්න බලා යන  සංචාරකයින් පිරිසක් දිය පිහිල්ල ළඟ නැවතිලා හිටියා.... 

මෙතෙක් දුරක් ජනාකීර්ණ නොවී හුදකළාව සර්ප ගමනෙන් ඇදුණු දුම්රිය මාර්ගය දැන් දැන් ආයෙම ජනාකීර්ණ වෙන්න පටන් අරන්.... ඒ කියන්නේ අපි පට්ටිපොළට ළඟා වෙන බවට ඉඟියක්... ඈතින් පට්ටිපොළ දුම්රිය හරස් මාර්ගයේ ඇතුල්වීමේ සංඥාව පේනවා.... අඹේවෙල ඉඳන් හෝටන් තැන්නට යන මාර්ගය පට්ටිපොල දුම්රිය පොලට මීටර් සියයක් පමණ මෙපිටින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරනවා.... එතැනදි අපිට හමු වෙන්නේ  පට්ටිපොල- අඹේවෙල කොටසේ පෙට්‍රොල්මන් වරයා..... දුම්රිය මාර්ගයේ ආරක්ෂාව භාරව ඉන්න ඔහු එයට වන ඕනෑම උපද්‍රවයක් වෙනුවෙන් වගකිව යුතුයි... ආගන්තුකයින් වන අපේ අනන්‍යතාවය විමසන ඔහු අපේ ගමන්  අරමුණු, අපේ ඇසුරුම් වල අඩුම කුඩුම ගැන විමසිම් කරනවා... ඔහුගේ රාජකාරියට සාවධානව ඉඩදෙන අපි අවසානයේ අවසර ලිපිත් ඔහුට දක්වා යළිත් ඉදිරියට ඇදෙන්න පටන්ගත්තා...



දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාර්ගය හමුවන තැන දෙපස අපූරු හැඩයේ ගොඩනැඟිලි කිහිපයක් දක්නට ලැබුණා...  එකක් පට්ටිපොළ උප තැපැල් කාර්යාලය.... අනෙක හින්දු කෝවිල.... දෙකේම ගෘහ නිර්මාණ සැළැස්ම එකක ට එකක් සමානයි. පැරණි ටකරන් තහඩු වහළ පල හතරකට ගහල ඒ තහඩු හුළඟේ යන එක වළක්වන්න කළුගල් - සිමෙන්ති ගල් තැන් තැන්වල තියලා තිබුණා....  ගොඩක් උස් නැති ගොඩනැඟිල්ල වටේටට ලෑලි හා ලී පටි  ගහල තිබුණා....  කෝවිල ඉදිරිපිට වීදුරු කුටියක්, පඬුරු බදින ත්‍රිශූලයක්, උස්  යකඩ බට වලින් සැකැසූ කුඩා ඝණඨාරයක්ද තිබුණා.පසෙකින් ළිඳක්ද තිබුණු මෙහි වැට සිල්පර හා ලීකොට සිටවා අදින ලද අක්‍රමවත් කටු කම්බි  පොටවල් කිහිපයකින් සමන්විත වුණා. සිංහල දමිළ සමාන බහුතරයකිනුත් මුස්ළිම් සුළුතරයකුත් සිටින මෙහි වූ කෝවිල තවමත් නගරයේ ආගමික ස්ථාන මෙන් අධිකාරීවාදය ඉස්මතු කරලා තිබුණේ නෑ... අපි මෙහිදී බෞද්ධ පන්සලක් හෝ ඉස්ලාම් පල්ලියක් දැක්කේත් නෑ... උප තැපැල් කාර්යාලයේ සුද්දාගේ කාලයේ සවිකළ නාමපුවරුවක් පවා තවමත් දකින්නට තිබුණා... එහි තැපැල් ස්ථානාධිපතිවරයා කාර්යාල ඉඩමේ  කැරට් වගාවක් නඩත්තු කරමින් සිටියා...නුවරඑළිය දෙසින් පැමිණෙන ලංගම බසය දුටු ඔහු කරමින් සිටි වැඩය නවත්වා ඉදිරියට දිවගියා.... දහවල් එකොළහ විතර වුණු ඒ මොහොතේ තමයි ඔහුට දවසේ තැපැල් මල්ල බසයෙන් ලැබුණේ.... 


රටේ නොයෙකුත් පැතිවල එක එක විදියේ ගෘහ කර්මාන්ත - ගෘහ ව්‍යාපාර තියෙනවා.... පට්ටිපොළ අවටත් අපූරු ගෘහ කර්මාන්තයක් දක්නට ලැබුණා... කර්මාන්තයක් කිව්වට මේක වගාවක්.... තමන්ගේ මිදුලේ විවිධ මල්  වැවීම තමයි මේ අයගේ අමතර ආදායම සපයන්නේ.... රෝස, කානේෂන්, ලිලී ආදී විවිධ මල් වර්ග තමන්ගේ ඉඩමේ වගා කරලා නඩත්තු කරලා අවසානයේ පිපෙන මල් එක්රැස් කර විකිණීම තමයි මේකේ ව්‍යාපාර  ස්වභාවය....ඒ විදියට නෙළන මල් එකතු කරන තැනක් පට්ටිපොළ කෝවිල ඉදිරිපිට දුම්රිය මාර්ගය ආසන්නයෙන් තිබුණා.... තව පැයකින් පමණ පට්ටිපොලෙන් කොළඹ යන්නට නියමිත අංක 1008 දුම්රියෙන් ගම්පහට සහ කොළඹට යැවීමට කඩිසරව මල්  තෝරමින් සිටි අඹු සැමි යුවලක් හා ඔවුන්ගේ පුතු අපගේ තොරතුරු විමසීම ඔවුන්ගේ කාර්යයට බාධාවක් කරගත්තේ නෑ.... දෛනිකව සිදුවන මෙම කාර්යය තමන්ට හොඳ ලාභයක්  ගෙන දෙන බව තමයි ඔවුන් කීවේ.... 

හරස් මාර්ගය පසු කළාම දුම්රිය ස්ථානය පෙනෙන නොපෙනෙන දුර.... අතුරු පාරකින් මතුවුනු ප්‍රෙද්ශවාසී තරුණියෝ දෙන්නෙක් දුම්රියපොළ දිහාට යන්න දුම්රිය පාරට ගොඩවුණේ ආගන්තුක අපිව නොදැක බොහොම සැහැල්ලුවකින් වෙනද පුරුදු විදියටම..... හැබැයි මේ දෙන්නා අපිව දැක්කා විතරයි පැත්තවත් නොබලා කඩිනම් ගමනෙන් දුම්රියපොළ පැත්තට ගියා.... 

“අන්න පොඩි මැණිකේ අප් එකයි උඩරට මැණිකේ අප් එකයි  එකම වෙලාවේ පට්ටිපොළට ඇවිත් ........“ 

මාධව මල්ලිගේ හඬත් එක්ක ක්‍රියාත්මක වුනු ලොවිඳුගේ කැමරාව සාක්ෂියකුත් ඉතුරු කළා....  ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි ටිකක් පරණ වෙනස්ම විදියේ දුම්රිය මාර්ග සංඥාවක් පාර අයිනේ තිබ්බා.... මේ ගැන  විස්තරාත්මක අවබෝධයක් නැතත් එහි ලීයෙන් තනා සුදු පැහැ ආලේපිත පට්ටම් දෙකක් තිරස් අතට කෝණ දෙකකින් අඩි තුනක් විතර උස සිරස් ලී කණුවක සවිකර තිබුණා...
එක් පට්ටමක 51 ලෙසත් අනෙක් පට්ටමේ ඉංග්‍රීසි ‘එල්‘ අකුරත් සටහන් කර තිබුණා.... පසුව යකඩයකා දුම්රිය ලෝලී සමූහයෙන් මේ පිළිබඳ විමසා බැලූ අතර එහිදී පිළිතුරු දුන් සහෘදයින් දක්වා සිටියේ දුම්රිය රියදුරන්ට ඉදිරි මාර්ගයේ ආනතිය ගැන දැක්වීමට  මෙම පුවරු භාවිතා වන බවයි. ඒ අනුව මෙම සළකුණ පිහිටි තැනින් එක් පසෙකට අඩි 51ට අඩි 1ක බෑවුමකුත් අනෙක් අතට සමමිතික මාර්ගයකුත් පවතින බව තමා සටහන් වී තිබුණේ.... 

සිල්පරෙන් සිල්පරේට අඩි තියමින් කෝච්චි පාර දිගේ ඇවිදගෙන යන ගමනකට වඩා වෙනස් විදියට වටපිට තොරතුරු බලමින් විචාර බුද්ධියෙන් යුතුව ඒ දේ  ගැන සොයා බලමින් කිලෝමීටර් 3.5ක දුරක් දුම්රිය මාර්ගය දිගේ පැමිණී  අපි ඊළඟට ආවෙ පට්ටිපොළ දුම්රියපොළට..... ඒ වෙනකොට වෙලාව දහවල් දොළහට ආසන්නයි. පට්ටිපොළ දුම්රියපොළ බොහොම කළබලකාරියි..... දුම්රිය ස්ථානාධිපති තුමාත් කාර්යාලයෙන් එළියට ඇවිත් පාර දිහා බලාගෙන.... දුම්රිය පොළේ එහා කෙළවරේ පොලිස් ජීප් රථයක්.... එහෙම වුණේ ඇයි? ඊළඟ ලිපියෙන් බලමු. 


සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ



ස්තූතිය - 
අඹේවෙල දුම්රිය ස්ථාන කාර්යය මණ්ඩලයට - අසුරංග මෙන්ඩිස් මහතාට - කසුන් දර්ශන මහතාට - ජ්‍යෙෂ්ඨ දුම්රිය රියදුරු සමන් ගුණවර්ධන මහතාට - පට්ටිපොළ දුම්රිය ස්ථීර මාර්ග පරීක්ෂක මහතාට-ප්‍රෙද්ශවාසීන්ට - වැඩසටහනට සහභෘගී වූ සැමට - යකඩ යකා ෆේස්බුක් සමූහයේ තොරතුරු දැක්වූ සහෘදයින්ට

සහභාගී වූවෝ -
චමත් මධු  - භාග්‍ය තිවංක - මාධව කසුන්ජිත් - වරුණ් දේමිත - ප්‍රභාෂ් මලිත - ඉන්දක කරුණාදාස - ලොවිඳු චතුරංග - ඕදිත වනසිංහ - මන්රුචි සිරිවර්ධන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

ඡායාරූප සපයා දුන් සියළු දෙනාට ස්තූතියි!

අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

අපගේ ගවේශන චාරිකා ගැන වැඩි විස්තර සඳහා මෙතැනට යන්න.

මීළඟ ලිපියට මෙතැනින් - පට්ටිපොළ සිට දුම්රිය මඟේ උසම ස්ථානයට පා ගමනින්

No comments:

Post a Comment