Sunday 26 May 2019

මඩකළපුවෙන් ගෙනා පාර්සලය - වේයන්ගොඩදී පුපුරායයි.

හිජ්රා දුම්රියේ බෝම්බ පිපිරිම


1986 වන විට රටම බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ ගරිල්ලා ප්‍රහාර වලට ලක්වෙමින් තිබිණි. උතුරු නැගෙනහිර හෝ රටේ කොතැනක හෝ දෛනිකව බෝම්බ පිපිරීමක්, වෙඩි ප්‍රහාරයක්, කෘර ප්‍රහාරයක් එල්ල කරන ත්‍රස්තවාදීන් සාමකමි ජන ජීවිතය අඩපන කර ආරක්ෂක අංශ අසීරුවට පත්කරන්නට උත්සහ ගත්හ. පෙර වසරේ සිදුවූ යාල්දේවී දුම්රිය ප්‍රහාරය නිසා දුම්රිය මඟින්ගේ ආරක්ෂාව ගැනද විශේෂ උනන්දුවක් උතුරු නැගෙනහිර පළාත්වලදී පැවතිණි. 
මඩකළපුව දුම්රියපොළ -2018

මෙවන් වාතාවරණයක් යටතේ එළැඹුණු 1986 මැයි 31 වන සෙනසුරාදා දින  පෙරවරුවේ මඩකළපුව දුම්රිය පොළ කාර්යබහුල වූයේ දෛනිකව කොළඹට යන 'හිජ්රා" දුම්රියේ රාජකාරි වෙනුවෙනි. මෙම දුම්රිය උදයදේවී දුම්රිය ලෙසද සමහර සටහන් වල දැක්වෙන නමුදු  ප්‍රධාන නියාමක වරයාගේ හැඳින්වීමේ සටහන්ව ඇත්තේ "හිජ්රා" දුම්රිය ලෙසය.  කාර්යබහුල සාමාන්‍ය මඟීන් අතරින් පැමිණි දෙදෙනෙකු කොළඹ බලා ප්‍රවාහනයට පාර්සලයක් බාරදුන් අතර එය නියාමක මැදිරියට යොමු කිරිමට නිළධාරීහු පියවර ගත්හ. 

නියමිත වේලාවට පිටත්වූ දුම්රියට වෙනදා මඩකළපුවෙන් වේයන්ගොඩ සහ කොළඹ  ගෙනයාමට භාරදෙන කිරිහට්ටි මෙදින නොලැබුණු අතර මඟීන්ගේ සුවිශේෂ අඩුවීමක්ද දක්නට නොලැබිණි. මඩකළපුවේ සිට මහව දක්වා ඩී.එම්. රණසිංහ නැමැති ප්‍රධාන දුම්රිය නියාමක වරයාගේ අධීක්ෂණය යටතේ පැමිණි දුම්රිය මහවෙන් පසු භාර වූයේ දොඩංදූවේ පදිංචි ඒ. දයානන්ද නම් නියාමක වරයාටය. සවස 1.30ට මහවට පැමිණී දුම්රිය යළි සවස 1.45ට මහවෙන් පිටත්වූයේ ඩබ්. සයිමන් පෙරේරා නම් රියදුරු වරයාගේ මෙහෙයවීමෙනි. 

  
                          හානිවූ මැදිරිය අංගනයේදි පරීක්ෂා කරමින්
වෙ නදාට වඩා විනාඩි හතක පමණ ප්‍රමාදයකින් වේයන්ගොඩට පැමිණී දුම්රිය ට වෙනදාට වඩා මඟීන් පිරිසක් ගොඩවී ඇත. එයට හේතු වි ඇත්තේ මෙම දුම්රියට පෙර වේයන්ගොඩට ළඟාවිය යුතු බදුල්ලේ සිට පැමිණෙන "උඩරට මැණිකේ" දුම්රිය එදින ප්‍රමාද වීම හේතුවෙනි. ඒ අනුව එදින සවස 3.52ට වේයන්ගොඩට ළඟාවූ දුම්රිය තවත් විනාඩි එක හමාරක කාලයකින් වේදිකාවෙන් පිටවී තිබේ. නමුත් සාමාන්‍ය තත්වයන් යටතේ මෙම දුම්රිය විනාඩි පහක් පමණ දුම්රිය ස්ථානයේ රැඳෙන නමුත් එදින කිරිට්ටි නොලැබී තිබූ නිසා ඉක්මනින්ම පිටවිමට අවස්ථාව ලැබිණි.

බෝම්බය පිපිරුණූ ස්ථානය සඳහා  7.150650, 80.057200   ගූගල් මැප් වල සොයන්න. 

ලංකාවේ  පසුදින පළවූ සියලු පුවත්පත් වල මෙම බෝම්බ ප්‍රහාරයත් එදිනම සවස කොළඹ "සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්" හෙවත් අලියා බීම සමාගමේ සිදුවූ කාල බෝම්බ පිපිරීමත් වාර්තා කර තිබූ අතර පහත විස්තර කිරීම් උපුටා ගත්තේ 1986 ජූනි 02 සඳුදා පළවූ "රිවිරැස" පුවත්පතිනි. 

ඉන්පසුව සිදුවූ සිද්ධීය පිළිබඳව දුම්රිය රියදුරු සයිමන් පෙරේරා මහතා පොලීසියට විස්තර කර තිබුණෙ මෙසේය. " වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ වේදිකාව පසුකළ බවට ප්‍රධාන නියාමක සංඥාව ලබාදුන් පසු මම දුම්රියේ වේගය වැඩි කළා. එසේ වැඩි කර යාර පණහක් යාමට පෙර මට විශාල ශබ්දයක් ඇසුණා. ඒ සමඟම එන්ජිමේ විදුරුවෙන් ගිනි ජාලාවක් පෙනුණා. මම හිතුවේ එන්ජිමේ ගින්නක් ඇතිවූ බවයි. ඉක්මනටම එන්ජිම නවතා මම බිමට බැස්සා. එසේ බලන විට දුම්රිය දෙකඩ වී මැදිරි පොඩි පට්ටම් වී තිබුණා."


එම සිද්ධිය පිළිබඳව දුම්රියේ ප්‍රධාන නියාමකවරයා ලබාදුන් සාක්ෂියේ සංක්ෂිප්තය මෙසේය. " එදා කිරිහට්ටි නොතිබුනු නිසා දුම්රිය ඉක්මනටම පිටත්වුණා. වේයන්ගොඩ ස්ථානාධිපතිවරයා එදින මෙම දුම්රිය ගම්පහ සහ ගණේමුල්ලේද නවත්වා ධාවනය කරන ලෙස විධානය කළා. දෙවැනි සංඥාව ලබාදෙනවාත්  සමගම විශාල පිපිරුම් හඬක් ඇසුණා. මා විසිවී මැදිරිය තුළම වැටුණා. කළු දුමාරයකින් ප්‍රදේශයම වැසී ගියා. මමත් අමාරුවෙන් නැඟිට ගෙන දුම්රියෙන් එළියට පැන්නා. වහාම දුම්රිය ස්ථානාධිපතිවරයා හරහා පොලිසිය දැනුවත් කර නැවත දුම්රියට එනවිට මියගිය මඟීන් සහ තුවාලකරුවන් පුද්ගලික බස් සහ වෑන් වලින් රැගෙන යනු දුටුවා."

මෙම බෝම්බ පිපිරීමෙන් මඟින් 40 දෙනෙකුට තුවාල වී තිබූ අතර ස්ථානීය මරණ 12ක් වාර්තා වි තිබිණි. දිනකට පසුව තුවාල ලැබූ තවත් මඟියෙකු මියගොස් තිබිණි. මියගිය අය අතර සිටි මඟින් පස්දෙනෙකුගේ අනන්‍යතාවය පසුවදා දහවල් වන විට තහවුරු කරගන්නට හැකියාව ලැබුණු අතර පහළ මාර්ගයේ දුම්රිය ධාවනයද දිනකින් පසුව යථා තත්වයට පත්කෙරිණ. මෙම දුම්රියෙන් එදා කිරිහට්ටි ප්‍රවාහනය සිදුවිණි නම් මෙම බෝම්බය පුපුරා යන්නේ වේයන්ගොඩ දුම්රිය පොලේදීය. එසේ වූවානම් දුම්රිය ස්ථානයටද  හානි වන්නට තිබිණි. 


පසුව ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කළ පරික්ෂණ වලදී තහවුරු වි ඇත්තේ මඩකළපුව දුම්රිය පොළට ලැබුණු බඩු පාර්සලය තුළ අන්තර්ගතව තිබූ කාල බෝම්බයක් පුපුරා ගොස් මෙම සිද්ධිය සිදුවූ බවයි. මෙම අනතුරෙන් රුපියල් ලක්ෂ 60ක අලාභයක් සිදුවූ බවට දුම්රිය දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබිණි. එසේම මෙම සිද්ධියෙන් පසුව  නියාමක මැදිරිය තුළ පාර්සල් ප්‍රවාහනය තහනම් කරමින් නියෝගයක්ද නිකුත්වූ අතර මඩකළපුව දුම්රිය ස්ථානයේ නිළධාරින් පස් දෙනෙකු කොළඹට කැඳවා විශේෂ පරීක්ෂණයක්ද පවත්වා ඇත.

එකළ වෙබ් පුවත් සේවා බිහිව නොතිබූ අතර පසුදින පළවූ ඇමරිකානු The Newyork Times පුවත්පතේද මෙම බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු වාර්තා කොට තිබී ඇත. පසුකාලීනව වෙබ් පුවත් අතරට එක්වූ The Newyork Times ප්‍රවෘත්තිය පහතින් දැක්වේ. 


SRI LANKA TRAIN BLAST KILLS 12

Twelve people were killed and 40 were wounded today by a bomb that exploded on a passenger train in a Colombo suburb, a military spokesman said.
The spokesman said the authorities suspected that Tamil separatist guerrillas were responsible for the blast at Veyangoda, 20 miles northeast of Colombo.
Most of the train's passengers were civilians.
The blast came after two bombings in Sri Lanka on Friday that killed 36 people. The Government has accused the guerrillas of those bombings.
One of the explosions Friday ripped through a food and soft-drink processing plant in central Colombo, killing 10 workers and wounding more than 50.
The blast occurred in a truck bringing empty bottles to the factory half a mile from army headquarters. Security sources said it arrived from Jaffna, the stronghold of the Tamil rebels.
(පැරණි පුවත්පත් ඡායාරූප සපයාගැනීම - ජාතික පුස්තකාලයේ සංරක්ෂිත පුවත්පත් වාර්තා වලිනි.)

සටහන සහ චාරිකා සංකල්පය - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ


ඡායාරූප සපයා දුන් සියළු දෙනාට ස්තූතියි!

අපගේ මීළඟ ගවේශනාත්මක සංචාරය සඳහා 076-6642607 අංකයට අමතන්න. හෝ මෙතැනට යන්න.

6 comments:

  1. මේ සිදුවීම වෙනකොට මට අවුරැදු පහක්වත් නෑ ... මේ වගේ ලිපියකින් මිසක් ඒ ගැන විස්තර ලබා ගන්න පුළුවන් විද් හරි අඩුයි. බොහොම ස්තූතියි !

    ReplyDelete
  2. මේ සිද්දිය උනේ පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ව ආදාහනය කරන වෙලාවේ ...... ඒ ගැන විස්තර රෙඩියෝ එකේ යනකොට තමයි මේක ආරංචි උනේ ...... අපි හිටියේ වතුපිටිවල බොස්ටල් කර්වාර්ටස් එකක් ... මම එකේ නැත්තං දෙකේ .. අපි ඇච්චෝ බැච්චෝ .. ඉස්පිරිතාලෙට දිහිවු ...ඒත් ලෙඩ්ඩු ගේන තැනට යන්ඩ නොදී එලෙව්වා ...... ඈතට දැක්කා හිගන්නෙක්වාගේ කෙනෙක්ව බානවා..... දැන් තමයි හිතෙන්නේ .ඒ ඇදුම් ඉරුන තුවාල වෙච්ච කෙනෙක් කියලා... තව තරුන ගැහැනු කෙනෙක් ළමයෙක්ව ඉල්ලා ඇඩුවා

    ReplyDelete
  3. " එදා කිරිහට්ටි නොතිබුනු නිසා දුම්රිය ඉක්මනටම පිටත්වුණා. "

    සුනාමියට අහුවෙච්චි දුම්රියත් එක්කත් එදා කිරි හට්ටි ආවේ නෑ. එදා කිරි හට්ටි ආවනම් අම්බලන්ගොඩ ටිකක් වෙලා නවත්තගෙන ඉන්නවා කිරි හට්ටි බානකම් . එහෙම උනානම් දුම්රිය අනිවාර්යයෙන් බේරෙනවා සුනාමියෙන්. එදා අම්බලන්ගොඩට එද්දීත් කෝච්චියට ඉස්සරහට යන්න සිග්නල් හම්බවෙලා තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. මේ කතාවට මම එකඟයි.

      Delete
  4. පුලුවන්නම් ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගැනත් මේ වගේම post එකක් දාන්න.

    ReplyDelete
  5. සියලු ප්‍රතිචාර වලට ස්තූතියි! 

    ReplyDelete